මා සමඟ සිටින්නේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා හැකි හොඳම කණ්ඩායමයි -ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති නීතිඥ හමුවේදී ජනපති කියයි

එක් පක්ෂයක නොව සියලු පක්ෂවල සිටින දක්ෂතම කණ්ඩායම එක් කර ගනිමින් ඉකුත් දෙවසර තුළ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට තමාට හැකි වූ බවත්, තමා සමඟ සිටින ආර්ථික කණ්ඩායම අබිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා (24) පැවති හමුවට එක් වෙමිනි.

‘ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මේ හමුවට ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ඇතුළු නීතිඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය:

“අද ඔබ සියලු දෙනා මෙතැනට පැමිණීම පිළිබඳ පළමුවෙන්ම මගේ ස්තුතිය පිරිනමනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා මට කිවුවේ ‘බලයේ හිඩැසක් තියන්න එපා’ කියලයි. ඒකයි මම එදා ගිහින් අගමැතිකම භාර ගත්තේ. එදා රටේ පැවති තත්ත්වය දිගටම තිබුණා නම් ඇති විය හැකිව තිබූ තත්ත්වය අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ හෝ මම මඩකලපුවේදීද සඳහන් කළ ආකාරයට රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්වූ ඇතැන්ස් අධිරාජ්‍යයන්ගේ දිවුරුම් ප්‍රකාශය අනුව මා එදා කටයුතු කළා. මම ඒ වගකීම භාර ගන්නේ නැතුව පැන ගියා නම් විශාල අවනම්බුවක්.

“විපක්ෂ නායක කියන්නේ විකල්ප අගමැතිවරයායි. එදා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇවිල්ලා කිවුවේ රාජපක්ෂ ආණ්ඩුව කැඩී ගියොත්, විපක්ෂ නායකතුමා ආණ්ඩුව භාර ගන්නවා කියලයි. ඒත් එහෙම කියා අවසානයේ අගමැතිකම භාර දෙන විට බෑ කියලා පැන දිවුවා. එතකොට මම මොකක්ද කරන්නේ? මමත් පැනලා දිවුවා නම් එය බියගුලු ක්‍රියාවක්. මගේ අත්දැකීම් අනුව මේ ගැටලුව විසඳිය හැකි බවට විශ්වාසයක් මා තුළ තිබූ නිසා මා ඒ වගකීම භාර ගත්තා.

“ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රටින් පිටව ගිය අවස්ථාවේ මා ඒ වගකීම භාරගෙන ඒ කටයුතු කරගෙන ගියා. මගේ නිවෙස ගිනිබත් කළත්, සඳුදා අපේ කැබිනට් මණ්ඩලයේ රැස්ව වෙලා රූපවාහිනිය මඟින් එය ප්‍රචාරය කළා. එතැන් සිට ආණ්ඩුවක් ලෙස අප ඒ බලය ආරක්ෂා කරගෙන ඉදිරියට ආවා. ඒක අපේ යුතුකමක්. මම වැඩ කරපු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි ජනාධිපතිවරුන් රට ගැන මුලින් සිතා වැඩ කරන ලෙස අපට උගන්වා තිබුණා. මෙවැනි අවස්ථාවක ජනතාව එකතු කළ යුතුයි. එවැනි අවස්ථාවක පක්ෂ භේද සලකන්නේ පළපුරුද්දක් නැති අයයි. ඔවුන් ආණ්ඩුවක් ක්‍රියාත්මක වන ආකාරය දන්නේ නැහැ.

“මේ වැඩකටයුතු ඉදිරියට ගෙන ඒමට මට හොඳ කණ්ඩායමක් අවශ්‍ය වුණා. එහිදී යහපාලන රජය සමයේ මා සමඟ කටයුතු කර තිබූ රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා මගේ රාජ්‍ය ඇමැතිවරයකු ලෙස පත් කරගත්තා. ෂෙහාන් සේමසිංහ ඇමැතිතුමා මන්ත්‍රීවරයකු ලෙස මා දැන සිටියා. මා එතුමාවත් තෝරාගත්තා. ඇමැතිවරුන් ලෙස ඒ දෙපළ විශාල සේවයක් සිදු කළා. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට පවා ඒ දෙපළ ගොස් වැඩකටයුතු කළා. ඒ වගේම අලි සබ්රි ඇමැතිතුමාටත් විදේශ කටයුතු අමාත්‍යාංශ භාර දුන්නා. අපට විශාලම ගැටලුව තිබුණේ බලශක්ති අංශයේයි. ඒ සඳහා කංචන විජේසේකර ඇමැතිතුමා පත් කළා.

“ඒ වගේම බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා මේ සියලු දේ ගැන මාධ්‍ය දැනුවත් කිරීමට පත් කළා. ඒ වගේම මම නිලධාරීන්ද සොයාගත්තා. යහපාලන රජය සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා මගේ උපදේශකවරයකු ලෙස පත් කළා. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාටත් ඒ වැඩකටයුතු දිගටම කරගෙන යෑමට අවස්ථාව සලසා දුන්නා. සිව් වනුව මගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස සාගල රත්නායක මහතා පත් කළා. ඒ වගේම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජ් යන මහත්වරුන් සහ ශාමිනි කුරේ මහත්මියත් අවශ්‍ය උපදෙස් දුන්නා.

“මේ කණ්ඩායම තමයි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවේ. ඒ වගේම අනිත් ඇමැතිවරු තමන්ගේ වැඩ කටයුතු ටික කළා. අගමැතිතුමා සහ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ටික බලාගත්තා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු බැලුවා. එතුමා අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ගෙන දුන්නා. හරීන් ප්‍රනාන්දු මැතිතුමා සංචාරක ව්‍යාපාරය පිළිබඳ කටයුතු බලාගත්තා. කුඩා ප්‍රමාණයේ අමාත්‍ය මණ්ඩලයක් කෙසේ හෝ මේ වැඩකටයුතු සියල්ල සිදු කළා. එක් පක්ෂයකින් නෙවෙයි, සියලු දෙනා එක්ව රට ගැන සිතා වැඩ කළා. පාර්ලිමේන්තු කණ්ඩායම ඊට උදවු කළා.

“දැන් අප යම් කිසි ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. මූලික වශයෙන් රටවල් 18ක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන සමඟ ගිවිසුමකට එළඹී තිබෙනවා. අප මුලින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එකඟතාවට ආවා. දෙවනුව අපට චීනය සහ අනෙකුත් රටවල් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. තමන්ගේ මැතිවරණ ප්‍රකාශවලින් අරක නොමිලේ දෙනවා, මේක නොමිලේ දෙනවා, බදු අඩු කරනවා කියා පැවසූ විට මේ ගිවිසුම කැඩෙනවා. එසේ නම් ඒ සඳහා වෙනත් ආකාරයකින් මුදල් සෙවිය යුතුයි. වැට් බද්ද අඩු කරනවා නම් ආදායම් බද්ද වැඩි කිරීමට සිදු වෙනවා. රුපියල් ට්‍රිලියන 5 කියන අගය වෙනස් කරන්න බැහැ. ඒත් මුදල් සොයාගන්නා ආකාරය වෙනස් කළ හැකියි. එහෙත් මේ ඉලක්කය අනුව කටයුතු කළ යුතුයි. ඉලක්කය සපුරාලන්නේ නැත්නම් සිදු වන්නේ කුමක්ද?

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාස 6කට වරක් සමාලෝචනයකට යටත්ව අපට ආධාර දෙනවා. ජපානය සහ අනෙකුත් ආයතන හා රටවල්වලින් අත්හිටුවනු ලැබු ආධාර නැවත ලැබීම ආරම්භ වීමට තිබෙනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය අවසන් කර තිබෙනවා. එහි මුදල් එළඹෙන පෙබරවාරි මාසයේ ලැබීමට නියමිතව තිබෙනවා. ඊට පෙර මෙම සමාලෝචනය සිදු කර මුදල් ලබාගැනීමට අනුමැතිය ගත යුතුයි. අපි මේ ගිවිසුම සංශෝධනය කරන බව පැවසුවොත්, නැවත එකඟතාවකට පැමිණෙන තුරු මේ ලැබීමට නියමිත ආධාර සියල්ල නවතිනවා. එවිට පෙබරවාරි මාසයේ සිට නැවතත් ඔබට පෝලිම්වල කාලය ගත කිරීමට සිදු වනවා. සටන තිබෙන්නේ ජනාධිපති කවුද යන්න පිළිබඳ නොවෙයි; අප ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

“අප සමඟ සිටින ආර්ථික කණ්ඩායම තරම් සුදුසු කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නැහැ. අපේ කණ්ඩායම ලෝකය විසින් පිළිගෙන තිබෙනවා. ඒ නිසා තමන්ගේ අනාගතය මේ අයට භාර දීමට කැමතිද කියා සිතා බලා ජනතාව තීරණයක් ගත යුතුව තිබෙනවා. ආපසු බොරු කළොත් රට වැටෙනවා. මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවය අවශ්‍යම වෙනවා. මම අපේක්ෂා කරන්නේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙනයෑමටයි. ඒ සඳහා අප සියලු දෙනාම එකට එක්ව ගෑස් සිලින්ඩරය වෙනුවෙන් ඡන්දය භාවිත කළ යුතුයි. මේ ඡන්දය දෙන්නේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහායි.”

විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි සහ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, නීතිඥ මධුර විතානගේ, එස්.එම්.එම්. මුෂාරෆ්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්, ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ප්‍රමුඛ නීතිඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් සහ සම්භාවනීය ආරධිතයෝ පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජයසිරි මුණසිංහ