IMF ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිවීමයි සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනපති කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවසුවද, එවැන්නක් සිදු කිරීමට යාමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ඊයේ (21) පැවති හමුවේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“දේශයේ අනාගතය ගොඩනැංවීම” යන තේමාව යටතේ සංවිධානය කර තිබු මෙම හමුවේ ප්‍රධාන දේශනය මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් සිදු කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ රටක් ලෙස ඉදිරියට යාමට ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය බවයි. එසේම රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ ගිවිසුම්ගතව ලබාගත හැකි සියලු සහන ලබාගෙන ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රට ඉදිරියට ගෙන යාමේදී ඉදිකිරීම් හා සංවර්ධන ක්ෂේත්‍රයට වැදගත් කාර්යභාරයක් පැවරෙන බවද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආර්ථික අර්බුදය හමුවේ විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති අතරමග නැවතීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල වුවත්, බැංකු සහන ලබාදීම සහ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට සිදු කළ යුතුව තිබූ ගෙවීම් පියවීම වැනි ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පිරිස් මත පැටවී ඇති බර ලිහිල් කිරීමට රජය පියවර ගත් බවද සිහිපත් කළේය.

දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කරමින් දෙස්, විදෙස් නව ආයෝජන ආකර්ශනය කර ගන්නා විට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ද වර්ධනයක් සිදු වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගාල්ල, මහනුවර, කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරක හෝටල් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම, බිංගිරිය, යාපනය සහ හම්බන්තොට නව ආයෝජන කලාප ආරම්භ කිරීම සහ මහ නගර සංවර්ධන සැලැස්ම යටතේ කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශ සංවර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳවද නියෝජිතයන් දැනුවත් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය:

ඔබ අද මෙහි රැස්ව සිටින්නේ අපගේ ආර්ථිකයේ තීරණාත්මක කොටසක් නියෝජනය කරන සහ ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂේත්‍රයක් වන ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතුවල යෙදී සිටින පිරිස ලෙසයි.

අප මුහුණ දී ඇත්තේ එක් අර්බුදයකට පමණක් නොවයි. අප අර්බුද දෙකකට මුහුණ දුන් බව මතක තබා ගත යුතුයි. පළමුව, අප කොවිඩ්-19 වසංගතයට ගොදුරු වූ අතර, ඉන් පසුව ඇති වූ ආර්ථික කඩා වැටීමට ද ගොදුරුවුණා. මෙම සිදුවීම් එකිනෙකට සම්බන්ධයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුල සමඟ එළැඹ සිටි ගිවිසුම්වලට පටහැනිව සිදු කළ බදු අඩු කිරීම් වැනි කොවිඩ් වසංගතයට පෙර අප ගත් මූල්‍ය ක්‍රියාමාර්ග වැනි හේතුන් ආදායම අඩු වීමට බලපෑවා. එම තත්ත්වය හමුවේ අපගේ අභියෝග තවදුරටත් සංකීර්ණ වුණා.

මෙවැනි තත්ත්වයක් කරා රට ගමන් කරන විට අප අනතුරු ඇඟවූවා.අවාසනාවකට මෙම අනතුරු ඇගවීම දුටුවේ කිහිප දෙනෙක් පමණයි. මතුවෙමින් පැවති මෙම අර්බුදය පිළිබඳ අප විසින් එදා ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින්ද ජනතාවට පෙන්වා දුන්නා. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් අවශ්‍ය බව අප ප්‍රකාශ කළ. කෙසේ නමුත්, අප අදා සිදු කළ මෙම අනතුරු ඇඟවීම බොහෝ දුරට නොසලකා හැරියා. අනෙක් කණ්ඩායම් යථාර්ථවාදී නොවන පොරොන්දු ලබා දුන්නා. ගෝලීය කොවිඩ් වසංගත අර්බුදය අපගේ තත්ත්වය වඩාත් නරක අතට හැරවූ අතර එය 2020 සහ 2021 වසරවල ගෝලීය ආර්ථිකයේ පසුබෑමකට හේතු වුණා. අප තවමත් එයින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, ගෝලීය වශයෙන් සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳව ද සලකා බැලිය යුතුයි. කොවිඩ් හේතුවෙන් චීනයේ, ඉදිකිරීම් ක්ෂේත්‍රය පහත වැටී ඇති අතර, එය පාරිභෝගික වියදම් කෙරෙහි ද බලපා තිබෙනවා. ඇමෙරිකාවේ සහ යුරෝපයේ පවා, පාරිභෝගික වියදම් උච්චාවචනය වන අතර එම ආර්ථිකයන් තවමත් ස්ථාවර වෙමින් පවතිනවා. මෙම ගෝලීය පසුබිම අප මුහුණ දී සිටින අභියෝගයන්ට ද හේතුවක් වී තිබෙනවා.

මම ජනාධිපති ධූරය භාර ගැනීමෙන් පසු රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් සිදු කළ යුතු මෙම වෙනස්කම් සිදු කළ හැකි බවට මට විශ්වාසයක් තිබුණා. මම ඒ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධතා පවත්වමින් ගතයුතු පියවර පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තිබුණා. මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැහැදිලි කළ ආකාරයට, අප දැන් ආර්ථිකය සහ අපගේ ණය ස්ථාවර කර ඇති අතර, අපට ණය ගෙවිය හැකි බව සහතික කර තිබෙනවා. අප මුදල් මුද්‍රණය නොකරන බවටත්, බැංකු වලින් ණය නොගන්නා බවටත් සහතික වී තිබෙනවා. එයින අදහස් වන්නේ අප අපගේම ආදායම් මත රඳා සිටිය යුතු බවයි. ඒ නිසා මා ද ඇතුළුව අප බොහෝ දෙනෙකුට වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා.

ඊළඟ අභියෝගය වන්නේ අපගේ ආර්ථික වර්ධනය උත්තේජනය කිරීමයි. 2022 වසරේ සිට සාමාන්‍ය තත්ත්වයට පැමිණීම සඳහා අප සතුව පස් අවුරුදු සැලැස්මක් තිබෙනවා. 2026 වසර වන විට අපට මෙය සාක්ෂාත් කර ගත හැකි යැයි මම බලාපොරොත්තු වෙනවා. අපගේ ඉලක්කය 2027 වසර වන විට 5%ක වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගැනීමයි. මෙම ඉලක්ක සපුරා ගැනීම ආර්ථික පරිවර්තන පනත යටතේ නීතියෙන් තහවුරු කර තිබෙනවා. අපගේ ආර්ථික ස්ථාවරත්වය සඳහා පදනම සපයන මහ බැංකු පනත සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වෙනත් නීති ද අප මෙ වන විට සම්මත කර තිබෙනවා.

රට ඉදිරියට යාමේදී ඉදිකිරීම් හා සංවර්ධන ක්ෂේත්‍රයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. විශේෂයෙන්ම විදේශීය අරමුදල් සහිත ව්‍යාපෘති අතරමග නැවතීමත් සමඟ මෙම අංශයට දැඩි පහරක් එල්ල වුවත්, බැංකු සහන ලබාදීම සහ ඉදිකිරීම් වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට සිදු කළ යුතුව තිබූ ගෙවීම් පියවීම වැනි ක්ෂේත්‍රය තුළ කටයුතු කරන පිරිස් මත පැටවී ඇති බර ලිහිල් කිරීම සඳහා අප පියවර ගෙන තිබෙනවා.
දැනට අත්හිටුවා ඇති ව්‍යාපෘති අප නැවත ආරම්භ කරමින් දෙස්, විදෙස් නව ආයෝජන ආකර්ශනය කර ගන්නා විට ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ඕනෑ තරම් අවස්ථා උදා වෙනවා. අප ගාල්ල, මහනුවර, කොළඹ සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල විශාල හෝටල් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට මෙන්ම සහ බිංගිරිය, යාපනය සහ හම්බන්තොට නව ආයෝජන කලාප ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මීට අමතරව, මහ නගර සංවර්ධන සැලැස්ම යටතේ කොළඹ, ගාල්ල සහ මහනුවර යන ප්‍රදේශවල සැලකිය යුතු ඉදිකිරීම් ප්‍රමාණයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සංවර්ධනය සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන දැනට භාවිතයේ නොමැති රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ද අප සතුව තිබෙනවා. ආයෝජකයින් සොයා ගැනීම සහ මෙම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ඔබට භාරයි. මේ සියල්ල තුළ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ වේවා ඔබ සියලුදෙනාට ඉදිරියේ දී ප්‍රමාණවත් වැඩ කොටසක් පැවරෙනවා. උපයන විට ගෙවන බද්ද (PAYEE Tax) වැනි ඔබ මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ලබා දීමට ද අප කටයුතු කරනවා. මෙම ප්‍රයත්නයන් පුළුල් වන ආර්ථිකය සහ ඉදිකිරීම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අනාගතය සමඟ සමපාත වන්නේ කෙසේදැයි අප සලකා බැලිය යුතුයි.”

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා
“අපේ දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7% ක දායකත්වයක් සපයන ඉදිකිරීම් කර්මාන්තය මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රධාන අංශයක් වෙනවා. එය සෘජුව සහ වක්‍රව මිලියන 5 ක පමණ පිරිසකට ජීවනෝපාය සපයන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම හා අත්‍යාවශ්‍ය කර්මාන්තවලින් එකක් බවට පත් වී තිබෙනවා. එමඟින් සැලසෙන ප්‍රතිලාභ බිමමට්ටමේ ජනතාව දක්වාම හිමිවෙනවා. කෙසේ වෙතත්, පසුගිය වසර කිහිපය මෙම අංශය සඳහා අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වුණා. කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය අපගේ ඉදිකිරීම් හා සංවර්ධන ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල කළා.
එහෙත්, මෙම කාලයේදී පවා රජය මෙම ක්ෂේත්‍රයේ කටයුතු සඳහා සහාය ලබා දී තිබෙනවා. පැවති අර්බුදය නිසා මෙම ක්ෂේත්‍රයේ 400,000 කට ආසන්න ජනතාවකට බලපෑම් ඇති වූ අතර, කොන්ත්‍රාත්කරුවන්ට පියවීමට තිබූ බිලියන 450 ක් පමණ වන ගෙවීම් නතර කිරීමට සිදු වුණා. මේ වන විට අවම වශයෙන් බිලියන 400 කට අධික ගෙවීම් ප්‍රමාණයක් පියවා අවසන් කිරීමට රජය සමත් වී ඇති බව දක්නට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා.
අප දැන් අත්විඳින ආර්ථික ස්ථාවරත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ එඩිතර තීරණවල සහ ස්ථාවර නායකත්වයේ සෘජු ප්‍රතිඵලයක් බව කිවයුතුයි. අපට මෙම වැඩපිළිවෙල වෙනස් කර නැවත ආරම්භ කළ නොහැකියි. මෙම ප්‍රවේගය පවත්වා ගැනීමට නම්, අප අත්දුටු වෙනස්කම් හරහා ගමන් කිරීම සහ ඉතා ප්‍රවේශමෙන් ප්‍රතිෂ්ඨාපනය කර ඇති දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අඛණ්ඩ නායකත්වය අපේ සාර්ථකත්වයට ඇති එකම මාර්ගයයි.”

මෙහිදී ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන, වාස්තු විද්‍යාඥ හිරන්ති වැලැන්දාව, ප්‍රවීණ නගර සැලසුම්කරු ආචාර්ය කේ. ලෝකන ගුණරත්න, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ඩැරින්ටන් පෝල් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වුණු විශේෂ සාකච්ඡා සභාවක් ද පැවැත්වුණු අතර එහිදී ඉංජිනේරුවන් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා සාධනීය පිළිතුරු ලබා දුන්නේය.

එහිදී නැඟුණ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර මෙසේය,

ප්‍රශ්නය
තමන් ජනාධිපති ධූරයට පත්වුවහොත් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන බව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරු පවසනවා. එවැන්නක් සිදු කිරීමට ගියහොත් රටක් වශයෙන් අපට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාක මොනවාද,
පිළිතුර
එවිට ඔබේ සමාගම ඈවර කිරීමට සිදුවෙයි. එපමණයි සිදු වන්නේ. මොකද අපට ආර්ථිකයක් අවශ්‍යයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, චීන එක්සිම් බැංකුව සහ තවත් රටවල් 17ක් සමඟ මේ වන විටත් ගිවිසුමකට එළැඹ තිබෙනවා. සාකච්ඡා කර ඇති මෙම රාමුව තුළ සිටිමින් අප දැන් සිවෛරි බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් අපට මිණුම් දඬු සකස් කර දී තිබෙනවා.
ඒ වගේම අප ඉන්දියාව සහ අනෙක් රටවල් පැරිස් සමාජයට ගෙන සාකච්ඡා කළා. චීනය වෙනම සම්බන්ධීකරණය කර නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ සාකච්ඡා කළා. මෙම සාකච්ඡා සියල්ල සම්පූර්ණ වී ඇති නිසා දැන් එම යාන්ත්‍රණය තවදුරටත් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට අපට ලබාදිය හැකි සහන පිළිබඳ අප එකඟතාවය පළ කළා. එක්සිම් බැංකුවෙන් ලැබෙන සහන නිල ණය හිමියන්ගේ කමිටුවෙන් ලැබෙන සහන වලට වඩා වෙනස්. ස්වෛරි බැඳුම්කර හිමියන් සම්බන්ධයෙන් ගත් විට, ඔවුන් ලබා දෙන සහන වෙනස් වෙනවා. ඇතැම්අය පොලි ගෙවීම් අඩු කරනවා. අනෙක් අය ආපසු ගෙවීම් කාල රාමුව දීර්ඝ කරනවා.

මේ සියල්ල එක්ව ගතහොත් හරියට විවිධ තැන්වලින් කෑම ගොඩක් ලැබෙන කුඩා දරුවෙකු වගෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කරන්න යන්නේ සුනිල් හදුන්නෙත්තිද? නැත්නම් හර්ෂ ද සිල්වා ද?
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරන්ද, ඉංජිනේරුවන්, කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සංවර්ධන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.