ජනාධිපති අපේක්ෂකයින් අතර විවාදයට ලැබුණු ඇරයුම පිළිගත් දිලිත්

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 6 දෙනෙකු අතර පැවැත්වීමට නියමිත විවාදයට සහභාගි වන ලෙස මාර්තු 12 ව්‍යාපාරය විසින් කරන ලද ආරාධනය නිල වශයෙන් පිළිගත් බව ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසනවා.

ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැකගැනීමට අවස්ථාව සළසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව සිය විශ්වාසය බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම විවාදයට සහභාගි වන ලෙස ආරාධනා කර ඇති සහෝදර අපේක්ෂකයින් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේත්‍රන් මහතා, ආරාධනය පිළිගෙන මෙම ඓතිහාසික මොහොත යථාර්ථයක් කිරීමට එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.