ජනපති අපේක්ෂකයෝ 6ක් එකම වේදිකාවක?

ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු දැනටම ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයින් 06 දෙනෙකු එකම වේදිකාවකට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ?” ඇතුළු විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන සැප්තැම්බර් 07 වෙනිදා සවස 3 සිට 5 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කළ බව සඳහන්.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් සහ ව්‍යවසායක දිලිත් ජයවීර යන මහත්වරු සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම පිරිසෙන් දෙදෙනෙකු දැනටමත් වැඩසටහනට පැමිණීමට කැමැත්ත පළ කර තිබෙන බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

මෙහිදී මෙම පිරිසට මූලික අවස්ථාවේදී තමන් රට හදන ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන බවත් පසුව ජනතාව විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රශ්න ඔවුන් වෙත ඉදිරිපත් කරන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.