ඇමැති ප්‍රසන්නගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර අභාවප්‍රාප්ත වෙයි

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ප්‍රදීප් අනුර කුමාර මහතා (53) හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

වසර 30කට අධික කාලයක් විදත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රදීප් අනුර කුමාර මහතා මාධ්‍ය ක්ෂේත්‍රයේ සියලුදෙනා සමඟ මනා අවබෝධයෙන් යුතුව කටයුතු කළ සුහදශීලී චරිතයකි.

හිටපු අමාත්‍යවරුන් වන දිවංගත රෙජී රණතුංග, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දී.මූ ජයරත්න අමාත්‍යවරුන්ගේ හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ද මාධ්‍ය ලේකම්වරයා ලෙස හෙතෙම කටයුතු කර තිබේ.

අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතා මිනුවන්ගොඩ, නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකි. දිවයින පුවත්පතේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි හෙතෙම අනතුරුව ජාතික රූපවාහිනිය, හිරු එෆ්.එම්, ලක්හඬ ගුවන් විදුලිය, සිරස සහ දිනකර පුවත්පතෙහි සේවය කරනු ලැබීය. ඊට අමතරව තවත් බොහෝ පුවත්පත් හා සඟරාවලට ඔහු විසින් ලිපි සම්පාදනය කර තිබේ.

ගුරුවරියක වන සාගරිකා අබේවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දියණියන් දෙදෙනකුගේ දයාබර පියෙකි.

ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහය අංක 239/3, අරලිය උයන, මිනුවන්ගොඩ පාර, කොටුගොඩ නිවෙසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු කොටුගොඩ, පොදු සුසාන භූමියේදී හෙට (17) සිදුකිරීමට නියමිතය.