ජනපති දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී මල්වතු-අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැදකී

ජනාධිපතිවරණයට සිය නාමයෝජනා පත්‍ර භාරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත පැමිණි ජනාධිපතිවරයා දළදා වහන්සේට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත්වල නිරත විය.

දළදා මාලිගාව වෙත පැමිණ සිටි ජනතාවගේ ද සුවදුක් විමසූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුහු සිය සුබපැතුම් පළ කළහ.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නායක හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය ද එහිදි සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කළහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, රාජ්‍ය ඇමැතිවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ගුණතිලක රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.