ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී ඊට මුහුණ දෙමින් ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ආපදා කළමනාකරණ බලධාරීන් දැනටමත් ගෙන ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දින සහ ඒ ආසන්න දින කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එම සාකච්ඡාව අවසානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සෑම පුරවැසියකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බවයි. එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත් විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන් සූදානම් කරන බවත් ඔහු පැවැසීය.
මැතිවරණ කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ දිස්ත්‍රික් ආපදා මැතිවරණ කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කරන බවත් සියලු ආපදා කළමනාකරණ කටයුතු මෙම ඒකකය හරහා සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඕනෑම හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක 117 හදිසි දුරකතන අංකය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියේය.
මෙම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.