ජනපතිවරණයට අපේක්ෂකයින් 40ක් ඇප තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයන් 22ක්, වෙනත් දේශපාලන පක්ෂක් නියෝජනය කරමින් අපේක්ෂකයෙක් සහ ඡන්දහිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 17 දෙනෙකු ලෙස අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජූලි මස 26 වන දින ආරම්භ වූ අතර එය අද (14) මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණා.

2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම හෙට (15) පෙරවරු 9 සිට 11 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරෙනවා.

අදාළ කාලසීමාව තුළ මැතිවරණ කොමිෂන් සභාව පිහිටි සරණ මාවත ආශ්‍රිත ප්‍රදේශය විශේෂ ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ ආශ්‍රිත මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.