හිඟ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගැන තීරණයක්

2023 වසරට අදාළ හිඟ බදු තවදුරටත් නොගෙවන්නේ නම් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අහෝසි කිරීමට වහාම අවශ්‍ය උ‍පදෙස් සුරාබදු දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා (07) මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම උපදෙස් ලබා දීම සිදුවිය.

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව විසින් මීට පෙර ලබා දුන් නිර්දේශ අනුව ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා දේ‍ශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල උසස් නිලධාරීහු මෙම කාරක සභාවට කැඳවා තිබිණි

පසුගිය ජූනි 30 වන විට 2023 වසරේ හිඟබදු අය කර ගන්නා ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට මීට පෙර නිර්දේශයක් ලබාදී තිබුනද මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවශ්‍ය උපදෙස් නොලැබුණ බැවින් අදාළ නිර්දේශය ක්‍රියාත්මක නොකළ බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කාරක සභාව ඉදිරියේ පැවසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් කාරක සභාව පෙන්වා දුන්නේ දැනට රු. බිලියන 7.9 ක්ව පවතින සමස්ත හිඟ බදු මුදල් කඩිනමින් එක්රැස්කිරීමට කටයුතු කරන ලෙසයි. මෙම රු.බිලියන 7.9 න් රු. බිලියන 5ක්ම ඩබ්. එම් මෙන්ඩිස් සහ සමාගමේ හිඟ බදු බවද කාරක සභා සභාපතිවරයා සදහන් කළේය. මත්පැන් නිෂ්පාදන ආයතන 25ක ප්‍රමාණයකින් ආයතන එකක් හෝ දෙකක් මෙලෙස බදු පැහැර හැරීම සිදුකරන බවත් ඔවුන්ට දිගින් දිගටම සහන ලබා දීම බදු ගෙවන අනෙක් ආයතනවලටත් සිදුකරන අසාධාරණයක් බවත් කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. මෙරට සාමාන්‍ය අහිංසක ජනතාවගෙන් බදු අයකරද්දී ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදකයන්ට මෙලෙස බදු ගෙවීම පැහැර හැරීමට ඉඩතබන්නේ කෙසේදැයි කාරක සභාව සිය දැඩි අප්‍රසාදය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට පළ කළේය. 2023 දෙසැම්බර් වන විට රු බිලියන 1.1ක්ව පැවති හිඟබදුවලින් රු. මිලියන 729ක් එකතු කර ඇති බවත් සුරාබදු කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

වංචා වැළැක්වීම පිණිස සහ නියමිත පරිදි බදු එකතු කිරීම සදහා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. එසේම පසුගිය කාලයේ අනාවරණය වූ ව්‍යාජ ස්ටිකර් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය විමසා සිටි අතර නිලධාරීන් පැවසුවේ තවමත් ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ පාර්ශ්ව සහ ව්‍යාජ ස්ටිකර් ඇලවූ ස්ථාන අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇති බවයි.

දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2024 ජූනි 30 වන විට අපේක්ෂිත බදු ඉලක්කය වූ රු. බිලියන 826 ඉක්මවා යමින් රු. බිලියන 902ක් එකතු කිරීමට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසුවාය. එසේම මේ වසරේ නව බදු‍ ලිපි ගොනු 255194ක් විවෘත කර ඇති බවත් 2024.05.31 වන විට බදු ලිපිගොනු 1132598 ක් පවතින බවත් හෙළි විය. එසේම වයස අවුරුදු 18වැඩි මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් සදහා බදු හඳුනා ගැනීමේ අංක (TIN) නිකුත් කර ඇති බව ද නිලධාරීහු පැවසූහ. මින් ස්වෙච්ඡාවෙන් ටින් අංකය ලබා ගෙන ඇත්තේ ලක්ෂ 1.5ක පිරිසක් බැවින් ඉතිරි පිරිස මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කිරීම වැදගත් බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. එසේම ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ස්ථාපිත කිරීම යටතේ සෑම පුද්ගලයෙකුටම අනන්‍ය හඳුනා ගැනීමේ අංකයක් ‍ලබාදීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී. එ‍සේම රාජ්‍ය ආයතනවලින් ද බිලියන 29ක ඇතුළු හිඟබදු අයකර ගැනීම සදහා කටයුතු කරන ලෙස පෙන්වා දුන්නේය. තවද අභියාචනා ක්‍රියාවලිය නිසා බදු අයකර ගැනීම පමාවීම වැළැක්වීම සදහා දේශීය ආදායම් පනතට සංශෝධන කඩිනමින් සිදුකරන ලෙස ද දැනුම් දුන්නේය. එසේම තාවකාලික වැට් අංක ලබා දීම නිසා සිදුවන වංචාවන් නතර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ විශ්ලේශනයක් සිදුකර මෙම වසරේ අගවන විට සම්පූර්ණයෙන් තාවකාලික වැට් අංක ලබාදීම නතර කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවධානය යොමු වූ අතර මේ අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ ඉලක්කගත ආදායම 98%ක් පමණ ලබා ගැනීමට හැකිවී ඇති බව අනාවරණය විය. එසේම ආහාර ද්‍රව්‍ය පිළිබඳ ශ්‍රී ලංකා රේගුව ලබා දෙන දත්ත, වෙළදපොල මිල පාලනයට හේතුවී ඇති බැවින් ශ්‍රී ලංකා රේගුවට සිය ස්තුතිය පළ කරන බවත් කාරක සභා සභාපතිවරයා සඳහන් කළේය. එසේම මිලපාලනය සදහා පාරිභෝගික සේවා අධිකාරිය සමඟ එක්ව POS යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සදහා කටයුතු කරන ලෙසත් දැනුම් දුන්නේය. එසේම E-invoicing අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය රහිතව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ තනතුරු රැසක් ස්ථාපිත කිරීම නිසා ඇතිවී ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳව සලකා බැලීම සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය කළ ඉල්ලීමට කාරක සභාවේ දෙවන සැසියේදී අවධානය යොමු විය. මේ අනුව මේ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකොට අනාගත ව්‍යාපෘති ඇතුළු කටයුතු පිළිබඳ සලකා බලා මාර්ග සංවර්ධන අධිකාරියට අනුමතිය ලබාගත යුතු සේවක සංඛ්‍යාව දැක්වෙන යෝජනාවලියක් කාරක සභාවට යොමුකරන ලෙස දැනුම් දුන්නේය. එසේම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ලංකා සංගමය එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා හිමිවූ රු. බිලියන 5 සහ රු. බිලියන 15ක ණය ලබාදෙන ක්‍රමය සහ අක්‍රීය තත්ත්වයේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජනාවලියක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා ද මෙම රැස්වීමට සහභාගී විය.