වැඩි මිලට හාල් වික්ක වැල්ලම්පිටියේ මුදලාලිට ලක්ෂයක දඩයක්

පාලන මිලට වඩා වැඩි මිලකට දේශීය සම්බා සහල් විකිණූ වෙළෙඳසල් හිමියකුට රුපියල් ලක්ෂයක දඩයක් පැනවීමට කොළඹ මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය ඊයේ (8) නියෝග කළාය. මේ සැකකරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙලෙස දඩ මුදල් නියම වූයේ කිත්තම්බුව පාර, වැල්ලම්පිටියේ ලිපිනයේ පවත්වාගෙන ගිය පෞද්ගලික වෙළෙඳසලක හිමිකරු වන මොහොමඩ් නවාස් මොහොමඩ් රිෂාද් යන වෙළෙන්දකු හටය.

2013 අංක 9 දරන පාරිභෝගික අධිකාරි පනතට ප්‍රකාරව කිසියම් සැපයුම්කරුවකු, නිෂ්පාදකයකු, සාදන්නෙකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් දේශීය සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් උපරිම සිල්ලර මිල රුපියල් දෙසිය තිහකට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් වීම වෙළෙඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියම කර තිබියදී, 2014 ජූලි 10 දින හෝ ඊට ආසන්න දිනයකදී මේ අධිකරණ බල සීමාව තුළ පිහිටි කිත්තම්බුව පාර වැල්ලම්පිටිය ලිපිනයේ පවත්වා යනු ලැබූ මේ වෙළෙඳ ආයතනයේ විත්තිකරු විසින් වැඩි මිලට විකිණීමක් කර තිබූ බව පාරිභෝගික කටයුතු විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්හ.

පාරිභෝගික කටයුතු විමර්ශන අංශයේ එස්.කේ. හේවාගමගේ, යසිත ඉෂාන්, හර්ෂණ කුමාර නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට ඉදිරිපත් කළහ. ඒ අනුව ඉදිරිපත් වූ කැරුණු සැලකිල්ලට ලත් අධිකරණය සැකකරුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ කාර්යාලට ගෙවන ලෙස නියම කළේය.