ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේ තවත් සැකකරුවෙක් අල්ලයි

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ඝාතන සිදුවීම සඳහා අනුබල දුන් අදාළ සැකකරු ඊයේ (06) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන විත් ඇති බවයි පොලසිය පැවසුවේ.

සැකකරු 36 හැවිරිදි වියේ පසුවන දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

මෙම සැකකරු අපරාධයට පෙර සැකකරුවන්ට කුලී නිවසක් ලබාගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම අපරාධය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පළායෑමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පොලිස් භාරයට ගෙන අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.