ජනපතිවරණයේ මුද්‍රණ වියදම තුන් ගුණයකින් ඉහළ නගීවි -මුද්‍රණ දෙපාර්තමේන්තුව

පසුගිය ජනාධිපතිවරණය හා සැසඳීමේදී මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා මුද්‍රණය කරනු ලබන ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ඉහළ යාම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ.

රජයේ මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණය කළ හැක්කේ උපරිම අඟල් 26 කින් යුක්ත ඡන්ද පත්‍රිකා බවත් එහි සඳහන් කළ හැක්කේ අපේක්ෂකයන් 36 දෙනෙකුගේ නම් පමණක් බවත් සඳහන්.

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂයන් ගණන 36 ට වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩි වීමෙන් මුද්‍රණ වියදම් තවත් ඉහළ යාහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.