එංගලන්ත හිටපු ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් අද (05) අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට හෙතෙම 55වැනි වියේ පසුවුණි.

2022 වසරේ සිට “බරපතල රෝගාබාධයක්” සමඟ පීඩා විදිමින් සිටි ග්‍රැහැම් තෝර්ප් අභාවප්‍රාප්ත වූ බව එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර දහයකට වැඩි කාලයක් එරට වෙනුවෙන් ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කළේය.

1993 සිට 2005 දක්වා කාලය තුළ එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 100කට ක්‍රීඩා කර ශතක 16ක් සමඟින් 44.66ක ලකුණු සාමාන්‍යයක් ලබා ගත්තේය.

තෝර්ප්, 2022 වසරේ දී ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කිරීමෙන් ටික කලකට පසු රෝහල් ගත කළ නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය නොවුණි.