නොසන්සුන් වූ බ්‍රිතාන්‍යය – සංක්‍රමණිකයින්ට පහරදෙමින් වීථි පුරා විරෝධතා

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ, මේ වන විට එරට තුළ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන්.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් වූ විරෝධතාකරුවන්, දේපලවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට ද පහර දෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

විරෝධතාකරුවන් 150කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ජනතාවට සාමකාමීව හැසිරෙන ලෙස එරට රජය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර ඇති බව සඳහන්.

සංක්‍රමණික පුද්ගලයෙකු විසින් සිදුකළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දැරියන් තිදෙනෙකු මියයාමේ සිදුවීමක් මුල් කර ගනිමින් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී තිබුණා.

බ්‍රිතාන්‍යයේ මෙවැනි ආකාරයේ වූ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ වසර 13කට පමණ පසුව වීම ද විශේෂත්වයක් වනවා.

පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවන ලෙස ද එරට මන්ත්‍රීවරුන් ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.