බදුල්ල සිට මාකුඹුරට අධිසුඛෝපභෝගි ලංගම බස් රථ සේවාවක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍ර‍ථමවරට බදුල්ලේ සිට මාකුඹුරට නව අධි සුඛෝපභෝගී ලංගම බස්රථ සේවාවක් ඊයේ (4) ආරම්භ කළ බව ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ සහකාර ඩිපෝ කළමනාකාර ආර්.එම්. ප්‍රදීප් අසංක රත්නායක මහතා පැවැසීය.

මගීන්ගේ ගමන් පහසුව තකා ප්‍රථමවරට බදුල්ල ඩිපෝව මඟින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මෙම සුඛෝපභෝගී බස්රථ සේවාව ආරම්භ කළ බවත් සෑම දිනකම උදෑසන 7.45ට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළෙන් මාකුඹුර බලා ධාවනය වන අතර මාකුඹුර සිට බදුල්ල බලා පස්වරු 2.30ට යළි පිටත් වන බව ද රත්නායක මහතා පවසයි.

මගී ජනතාවගේ පහසුව මෙන්ම ගුණාත්මක, සහනදායී සේවාවක් ලබා දීම වෙනුවෙන් මෙම ශ්‍රී ලංගම නව අධි සුඛෝපභෝගී බස්රථය අදාළ ගමන් වාර සඳහා පමණක් මුදල් අයකරන බව පැවැසූ සහකාර ඩිපෝ කළමනාකාරවරයා සඳහන් කර සිටියේ බදුල්ල සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුරට ගමන් ගාස්තුව රුපියල් 2000ක් වන බවය.

බදුල්ල, ඇල්ල,වැල්ලවාය, තණමල්විල 22 හන්දිය මත්තල දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුර බලා ධාවනය වන මෙම නව අධි සුඛෝපභෝගී ලංගම බස් රථයේ ආසන 055-2222281 හෝ 055 – 2222981 යන දුරකතන අංක ඔස්සේ වෙන්කරවා ගත හැකිය.