සජිත්ගේ ප්‍රථම රැලිය 16දා කුරුණෑගලදී

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රධාන ජන රැලි… සියයකින් (100) සමන්විත ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන් මාලාවක් සකස් කර ඇති බවත් එහි ප්‍රථම ජන රැලිය එලැඹෙන (16) දා කුරුණෑගල දී පැවැත්වීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය. තිස්ස අත්තනායක මහතා මේ බව පැවැසුවේ ඊයේ (04) බොරැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමින්ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය. “අපි එළැඹෙන (15) වැනිදා නාමයෝජනා භාර දෙනවා. ඉන් පසු එළැඹෙන (16) වැනිදා පෙරවරුවේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.ඉන් පසුව එළැඹෙන (16) දා පස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පළමු ප්‍රධාන ජන රැලිය කුරුණෑගල දී පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

ඉන් පසුව දිවයින පුරා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන ප්‍රධාන ජන රැලි සියයක් (100) හා සියලු ආසන නියෝජනය වන පරිදි මධ්‍යම ප්‍රමාණයේ ජන රැලි 400ත් 500ත් අතර ප්‍රමාණයක් ද පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා. ඊට අමතරව ඡන්ද පොළ මට්ටමින් කුඩා දැනුම්වත් කිරීමේ ජනහමු දොළොස් දහසකට (12000) ආසන්න ප්‍රමාණයක් පැවැත්වීමට ද සමගි ජන බලවේගය සැලැසුම් කර තිබෙනවා”