අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේ ද, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

එසේම සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අදාල මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි එහි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසත්, නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.