සැබෑ විප්ලවය යනු ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ ගොඩනඟා දීමයි

  • දේශපාලනයේ වෙනස් මත දැරුවත් රට වෙනුවෙන් එකට වැඩ කළයුතුයි.
  • පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි.

සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාව‍ට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සංකේතාත්මකව ඉඩම් ඔප්පු 47ක් ප්‍රදානය කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

මම මීට වසර 50කට පෙර 1974 වසරේදී වරක් මෙම තඹුත්තේගම ප්‍රදේශයට පැමිණියා. එවකට මෙහි සිටි වාමාංශික පෙරමුණේ මන්ත්‍රී රත්නමලාන මැතිතුමාගේ මරණයෙන් පසු ඒ සඳහා ඉදිරිපත්වීමට බණ්ඩාරනායක පවුල ඇතුළේ ගැටළුවක් පැන නැඟුණා. අනුර බණ්ඩාරනායක කිව්වා එතුමා ඉදිරිපත් වෙනවා කියලා. විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ඇහුවා සහාය ලබා දෙනවද කියලා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එම අවස්ථාවෙම ඔව් කියා ප්‍රකාශ කළා. එවිට චන්ද්‍රිකා මැතිණිය සහ විජය කුමාරතුංග මහත්මයා ඊට විරුද්ධ වුණා. අවසානයේ බණ්ඩාරනායක මැතිණිය රත්නමලාන මැතිතුමාගේ පුතා ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයෙන් අධිකාරි මැතිතුමා ඉදිරිපත් කර අප අතුරු මැතිවරණය සඳහා මෙම පළාතට පැමිණියා.

එදා මේ පළාත්වල කිසිදු දියුණුවක් තිබුණේ නැහැ. මින් වසර 10කට පසු 1984 වසරේ මම නැවත තඹුත්තේගමට පැමිණියා. ඒ වන විට අපි ආණ්ඩුවක් ගොඩනඟා තිබු අතර ගාමිණි දිසානායක ඇමතිතුමාගේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස අධිකාරි මැතිතුමා පත් කර තිබුණා. ගාමිණි දිසානායක මහතා මහවැලි එච් කලාපය එතුමාට භාර දුන්නා. එදා අප සියලුදෙනාගේ සහාය ලබාගෙන එය දියුණු කිරීමට එතුමා කටයුතු කළා.

මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කලාවැව ප්‍රදේශයේ ප්‍රධාන නගරය ලෙස තඹුත්තේගම නව නගරය ගාමිණි දිසානායක මැතිතුමා විසින් විවෘත කළා. මධ්‍ය මහා විද්‍යාලය, නව බස් නැවතුම්පොළ, අංග සම්පූර්ණ රෝහල, උප දිසාපති කාර්යාලය සහ වෙළෙඳ සැල් එදා ආරම්භ කළා.

මම අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඊට සහභාගී වු අතර එම්.එච්. මොහොමඩ් මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, රංජිත් අතපත්තු මහතා සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් ඊට සහභාගී වූණා. ඊට පෙර අධිකාරි මහතා කළ ඉල්ලීම පරිදි තඹුත්තේගම මහා විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබාදීමට මම කටයුතු කළා. ඒ වගේම අලුතින් ගොඩනැගිල්ලක් ලබාදීමට ද කටයුතු කළා.

අද තඹුත්තේගම ඉතා දියුණු නගරයක් බවට පත්ව තිබෙනවා. මම 1984 මෙම පළාතට පැමිණෙන විට මගේ මිත්‍ර අනුර දිසානායක මන්ත්‍රීතුමා එම පාසලේ සිටියා. අප එම විද්‍යාලයට උසස් පෙළ අධ්‍යාපනය ලබා දුන් නිසා එතුමාට උසස් පෙළ විභාගය සමත් වී, පසුව අප අලුතින් ඇති කළ කැළණිය විශ්වවිද්‍යාලයට ද ගොස් සාර්ථක වී දැන් අප සමග පාර්ලිමේන්තුවේ එකට වැඩ කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

එදා ධවල පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ විශාල විරෝධයක් එල්ල වුණා. කෙසේ හෝ මෙම ධවල පත්‍රිකාවෙන් බිහි වූ එතුමා අද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. මෙයින් පෙනී යන්නේ අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයයි.

අද මම පැමිණි අවස්ථාවේ විදුහල්පතිතුමා සඳහන් කළා තවම පාසලේ සම්පත් ප්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා තඹුත්තේගම විද්‍යාලයට නව ගොඩනැඟිල්ලක් ලබා දීමට කටයුතු කරනවා. අප මෙම පළාත්වල විශාල දියුණුවක් ඇති කර පසුව එය ඉදිරියට ගෙන ආවා. වාරිමාර්ග ඇමතිවරු, මහවැලි ඇමතිවරු මේ පළාතෙන් බිහි වුණා.

අනුර දිසානායක මැතිතුමා සහ මම පාර්ලිමේන්තුවේ එකට වැඩකටයුතු කළත් අපේ දේශපාලනය වෙනස්. ඒ බව මීට දින කිහිපයකට පෙර එතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. එතුමා කිව්වා මේ දේශපාලනයේ ගේම් කාරයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. එතුමා රාජපක්ෂවාදියෙකු වීම මට ප්‍රශ්නයක් නොවෙයි. ආණ්ඩුවේ රාජපක්ෂවාදීන් ඕනතරම් ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂවාදීන් සිටිනවා. ඒ වගේම අනිත් පක්ෂවල අයත් සිටිනවා. අප සියලුදෙනා එකට වැඩ කළයුතුයි.

මට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය අතහරින අවස්ථාවේ අනුර බණ්ඩාරනායක මහත්මයාට එය ලබාදීමට සිටියා. එහිදී අනුර දිසානායක මන්ත්‍රිතුමන්ලා නිර්භීතව ඉදිරියට පැමිණ පැවසුවා මහින්ද රාජපක්ෂ මහත්මයාට එය ලබා දෙන්න කියලා. මැතිවරණයේදී එතුමා වෙනුවෙන් වැඩ කළා. එය මට ගැටළුවක් නොවෙයි. අද අප සියලුදෙනා එකතුවෙලා සිටින්නේ දේශපාලනයකින් තොරවයි. රාජපක්ෂවාදින්ද, එක්සත් ජාතික පක්ෂ වාදීන්ද කියා ප්‍රශ්නයක් නැහැ. අප සියලුදෙනා එකතු වෙලා වැටුණු රට ගොඩගත්තා. අද ඇමරිකාව ප්‍රකාශ කර තිබෙනවා ලංකාව වගේ වැටුණු තැනින් වේගයෙන් ඉදිරියට පැමිණි වෙනත් රටක් නැහැ කියලා. අනෙක් රටවල් මෙය ආදර්ශයට ගත යුතුයි කියලා.

මීට වසර දෙකකට පෙර මේ රටේ දේශපාලන ක්‍රමය කඩා වැටුණා. කොයි රටේද අගමැතිකම හිඟමනේ යන්නේ. දින 03ක් අගමැතිවරයෙක් සෙව්වා. දේශපාලනයේදී එය සිදු විය නොහැකියි. ඒ වගේම කොයි රටේ ද තනි ආසනයක් තිබෙන කෙනෙක් ජනාධිපතිවරයා වෙන්නේ. මෙම බිඳ වැටුණු දේශපාලන ක්‍රමය මත අද අප සියලුදෙනා එකතුවෙලා රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනවිත් තිබෙනවා. දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වුණා.

ඊට පෙර අප අතර විවිධ දේශපාලන ගැටුම් තිබුණා. නමුත් රට වැටෙනකොට එහෙම කරන්න බැහැ. එම අවස්ථාවේ අප එකතු වන්නේ නැත් නම් අපට දේශපාලනය කරන්න රටක් ඉතිරි වන්නේ නැහැ. පසුගිය වසර දෙකේ ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට අප කටයුතු කළා. මේ බංකොළොත් වූ රටේ සමෘද්ධිය වෙනුවට ඒ වගේ තුන් ගුණයක් වැඩිකර අස්වැසුම ලබා දුන්නා. ඒ වගේම රජයේ සේවකයන්ට රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. 2015 වසරේ මම අගමැතිවරයා ලෙස වැටුප් වැඩි කිරීමක් සිදු කළාට පසුව පළමු වතාවටයි එම දීමනාව හිමි වුණේ. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබා දීලා අද රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට ගෙනැවිත් තිබෙනවා.

පසුගිය ආර්ථික අර්බුද හමුවේ රටේ සියලු ජනතාව පීඩාවට පත් වුණා. දැන් රටේ ආර්ථිකය ගොඩනැගෙන විට ඔවුන්ව අමතක කරන්න බැහැ. මේ පළාතේ ගොවි ජනතාව අපට පසුගිය කන්නවලදී හොඳ අස්වැන්නක් ලබා දුන්නා.

ඒ නිසා තමයි අපට ආර්ථිකය ශක්තිමත් කරගෙන ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණේ. එම ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙස අද අප සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙය විප්ලවීය පියවරක්. මෙයයි නියම සමාජවාදය. අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රටක්. ඒ නිසා අයිතිය ලබා දිය යුතුයි. චීනයත් සමාජවාදය අනුව ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට ආදායම් ලබා දුන්නා.

රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සියල්ල තුළින් සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. මීට වඩා සමාජවාදයක් සහ විප්ලවයක් නැහැ. විප්ලව කියන්නේ මිනිස්සු මරා දැමීම, පන්සලේ සිටින ස්වාමීන්වහන්සේට වෙඩි තැබීම හෝ ගෙවල් ගිනි තැබීම නොවෙයි. මෙයය නියම විප්ලවය. උරුමය වැඩසටහන හරහා මේ රටේ ලක්ෂ 20ක ජනතාවට ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙම අයිතිය ලබාගෙන ආඩම්බරයෙන් ඉදිරියට යන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මෙය ඔබේ විමුක්තියයි. දැන් ඔබට නිලධාරින් පසුපස යාමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දේශපාලනයෙන් තොරව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා,

අද රජ රට ජනතාවට ඉතා සතුටුදායක දවසක්. පාරම්පරිකව විශාල ජනතාවක් මේ පළාතේ ජීවත් වෙනවා. ඉදිරි පරම්පරාව වෙනුවෙන් ශක්තියක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද රජරටට පැමිණ තිබෙනවා. ඉඩම් ගැටලු ජනතාවට විශාල ප්‍රශ්නයක්. මේ රටේ අධිකරණවල බහුතරයක් විභාග වෙන්නේ ඉඩම් සම්බන්ධ නඩු බව පැවසිය යුතුයි. වසර ගණනක් තිස්සේ ජනතාව ඉඩම් සම්බන්ධ නඩු විසඳා ගැනීමට අධිකරණය හමුවට යනවා.

ජනාධිපතිතුමා උරුමය වැඩසටහන ආරම්භ කළේ මෙම ප්‍රශ්නවලින් ජනතාව මුදවා ගැනීමටයි. මේ පලාතෙත් ඉඩම් ඇමතිවරු හිටියා. නමුත් ඔවුන්ට ජනතාවගේ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීමට නොහැකි වුණා. අඩුම තරමේ මේ පළාතේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයාටවත් ජනතාව වෙනුවෙන් කිසිවක් කර ගැනීමට නොහැකි වුණා.

මේ රට ආර්ථික අර්බුදයකට ලක් වීමට ජනතා විමුක්ති පෙරමුණ එදා 88 – 89 කාලයේ මේ රටට කළ විනාශය හේතු වුණා. මේ රජරට ප්‍රදේශයෙන් තමයි රටට බත සපයන්නේ. 2007 වසරේදී ආරම්භ කළ මොරගහකන්ද ව්‍යාපෘතීයෙන් තවමත් රජරටට ජලය ලැබී නැහැ. එනිසා රජරටට ජලය ලබාදීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා,

උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ජනාධිපතිතුමාගේ සිහිනයක් ඉටු වීමක්. එතුමා මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණේ මීට වසර හතකට පෙරයි. නමුත් එය විවිධ හේතූන් නිසා ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා.අද උරුමය වැඩසටහන රට පුරාම අදියරයෙන් අදියර ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිතුමාගේ ඒ සිහිනය යථාර්ථයක් කිරීමට කැපවී සිටින දේශපාලන අධිකාරියට, රාජ්‍ය නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා.

එදා මේ රට අර්බුදයට මුහුණ පෑ අවස්ථාවේ රජරට ගොවීන් අරගල කරන්න පැමිණියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටියේ ගොවිතැන් කිරීමට ඉන්ධන, පොහොර සහ දරුවන්ට කිරිපිටි ටික ලබා දෙන ලෙසයි. ජනාධිපතිතුමා මේ රට භාරගැනීමෙන් පසුව ගොවින්ට සහන මිලට පොහොර ලබා දුන්නා. යන්ත්‍ර සූත්‍රවලට ඉන්ධන ටික ලබා දුන්නා.රජයේ කෘෂිනවීකරණ වැඩසටහන යථාර්ථයක් කිරිමට මේ සින්නක්කර ඔප්පු ලබාදීමෙන් හැකියාව ලැබෙනවා. අද සිට ඔබට නිදහසේ ගොවිතැන් කටයුතු සිදු කළ හැකියි. සමාජවාදී විප්ලවයේ නියම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බව පැවසිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා,

අද අප සියලුදෙනාට වාසනාවන්ත දවසක්. මේ ඔප්පුව ලබා ගැනීමට පරම්පරා තුනක් තිස්සේ බලාගෙන සිටියා. ජනාධිපතිතුමා මේ වැඩසටහන ආරම්භ කළේ දේශපාලන බේදයෙන් තොරවයි. මේ උරුමය තමන්ගේ උරුමය බවට පත්කරගෙන නිවැරදි ලෙස භාවිත කරන්න. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදිවලට සමස්ත සමාජයටම චෝදනා එල්ල වෙනවා.

ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ . නමුත් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා සමග එකම වේදිකාවට ඇවිත් තිබෙනවා. දේශපාලන සතුරුකම්වලින් බැහැරව එකතු වුවහොත් මේ රට හදන්න පුළුවන් කියන පණිවිඩය අද අප රටට ලබා දී තිබෙනවා.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,

‍ඕනෑම අයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නම් ඒ පුද්ගලයාට ඉඩමේ පරම අයිතිය හිමි විය යුතුයි. ගැටළු රාශියක් මධ්‍යයේ වුවත් මේ කර්තව්‍ය සම්පූර්ණ කීරිමට ජනාධිපතිතුමා තීරණය කළේ ඒ නිසයි. මේ කෙටි කාලය තුළ එතුමා විසින් ‘අස්වැසුම’ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ අතරතුර උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය හිඟ මුදලුත් සමඟ ලබා දීමට කටයුතු කළා. උසස් පෙළ සිසුන් සඳහා මසකට ‍රු.6000/- බැගිනුත්, පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට ‍රු.3000/- බැගිනුත් හිමි වෙනවා. ජනාධිපතිතුමා මේ දේවල් කරන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නහොත් මේ රට ගොඩ දා ගන්න පුලුවන් කියන විශ්වාසය මතයි.

එතුමාගේ තිබෙන ජාත්‍යන්තර සබඳතා, දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් තුළින් අද රට මේ තත්ත්වයට ගෙනවිත් තිබෙනවා. වසර ගණනක රජයයන් විවිධ සංවර්ධන වැඩසටහන් සිදු කළත් මෙතෙක් කිසිවෙක් අත නොගැසූ කෘෂි කර්මාන්තයට එතුමා අත ගසා තිබෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන තුළින් අපේ රටේ ගොවින්ගේ නිෂ්පාදන ලෝකයට ගෙන යාමට ජනාධිතිතුමා සැලසුම් කර තිබෙනවා. මේ මහා පිම්මක් පනින යුගයක්. සාම්ප්‍රදායික ගොවියා නැගිට්ටවන යුගයක්. ඒ යුගයේ එතුමා තීරණ ගන්නේ ඔබේ ජීවිත වෙනුවෙන් බව කිවයුතුයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, දිස්ත්‍රික් ලේකම් ජේ. එම්. ජේ. කේ. ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද රාජ්‍ය නිලධාරීන්, ඔප්පුලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.