බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් අත්කර ගත් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයට වසර 14කට පසු පළමුවරට එරට රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රජයක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 326ක් ජයගත යුතුව තිබූ අතර, පෙරේදා පැවැති මැතිවරණයෙන් කම්කරු පක්ෂය ආසන 412ක ජය තහවුරු කරගෙන ඇත. හිටපු අගමැති රිෂී සුනාක්ගේ කන්සර්වේව් පක්ෂයට ලැබී ඇත්තේ ආසන 121ක් පමණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
2010 වසරේදී අගමැතිවරයා ලෙස පත්වූ ඩේවිඩ් කැමරොන්ගේ සිට මේ දක්වා අගමැතිවරුන් පස්දෙනකු බිහිකළ කන්සර්වේටිව් පක්ෂයට මෙවර රාජ්‍ය බලය අහිමි වී ඇත. කම්කරු පක්ෂය නියෝජනය කරමින් අවසන් වරට එරට අගමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ගෝර්ඩ්න් බ්‍රවුන් විසිනි.
ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවස ඉදිරිපිට සිට ඊයේ නව අගමැතිවරයා ලෙස කම්කරු පක්ෂයේ නායක 61 හැවිරිදි කීර් ස්ටාමර් ජාතිය ඇමතූ අතර, ඊට පෙර රිෂී සුනාක් චාල්ස් රජු මුණ ගැසී නිල වශයෙන් අගමැතිධුරයෙන් ඉවත් වූ අතර, පරාජයේ වගකීම භාර ගෙන ජනතාව හමුවේ ස්තූති කතාව සිදු කළ රිෂී සුනාක් ඩවුනින් වීදියෙන් නික්ම ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
වසර 2020 සිට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වය දරන කීර් ස්ටාමර් හිටපු විපක්ෂ නායකයාද වන අතර, එරට කීර්තිමත් නීති උපාධිධාරියෙකි.