ඉරාන ජනාධිපතිවරණ සටන ඇරඹේ !

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරකින් හිටපු ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ජීවිතක්ෂයට පත්වීමෙන් පසු කැඳවනු ලැබූ හදිසි ජනාධිපතිවරණය ඊයේ ඉරානයේදි ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවත් දේශීය හා විදේශීය වශයෙන් වෙනස්කම් රැසක් සිදු කිරිමට පොරොන්දු වන අපේක්ෂකයකු ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමට එරට ඡන්දදායකයන් හදිසි මැතිවරණයේදී ඡන්දය භාවිත කිරිමේ ප්‍රතිශතය අවම වනු ඇතැයි එරට රජය සැක පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ සහ එරට ආගමික සභාවේ දැඩි අවධානය මැද පැවැත්වෙන ඉරාන ජනාධිපතිවරණයේ ඡන්ද භාවිතය සඳහා කෝටි 6කට අධික ජනතාව සුදුසුකම් ලබා සිටින අතර, ඒ සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන හැටදහසක් ස්ථාපිත කර ඇතැයි ද වාර්තා වේ. විදෙස් රටවල සිටින ඉරාන ජාතිකයන්ට ද ඡන්දය භාවිත කිරීම සඳහා විවිධ රටවල ද ඡන්ද මධ්‍යස්ථාන 300ක් පමණ ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉරාන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 6 දෙනකු මීට පෙර ඉදිරිපත් වී සිටි අතර, එරට ආගමික සභාව ඉන් දෙදෙනකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය සිව්කොන් සටනක් බවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.