අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවැසි නව නීති සකසා අවසන්

අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පවසයි.

දින හතරක් පුරා පැවැති කර්මාන්ත ප්‍රදර්ශණයට සමගාමීව ශ්‍රද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය ප්‍රතිව්‍යහගත කරණය සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණක් ඊයේ(23) අමාත්‍ය විජයදාස රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්විණ.

මෙහිදී අදහස් පලකරමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

අපේ රටේ කර්මාන්ත ව්‍යවසායකයන් උඩට ගන්න හරි අමාරුයි. උපන්ගෙයි දෝෂයක් තියෙනවා කියලයි මම හිතන්නේ ඒක එක දවසකින් දෙකකින් වෙච්ච දෙයක් නොවෙයි. සංවර්ධනය වෙමින් තිබෙන රටක ව්‍යසායකයන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ ආරක්ෂා විය යුතු ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තවම සකස් වෙලා නැහැ.ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපත්තියකුත් තවම සකස් වෙලා නැහැ මේ දෙක නිසා තමයි රටේ ආර්ථිකය බිඳ වැටෙන්න පසුබිම සකස් වෙලා තියෙන්නේ අපි බලමු කොහොමද එහෙනම් අපි මේ තත්ත්වයෙන් මිදෙන්නේ කියලා. මෑත කාලයේ සිදුවූ බරපතළ අභියෝගවලට සියලු දෙනා වගකිවයුතුයි. ඒ තරම් අභියෝග ඇවිල්ලත් ඔබ අද මෙතන ඉන්න එක ගැන අපි සතුටු වෙනවා. ඒ අභියෝග සියල්ලට ඔබ ඉතා ධෛර්යයෙන් මුහුණ දීලා තියෙනවා. 2019 දී පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අපේ රට ආර්ථික වශයෙන් වැටෙන්න පටන් ගත්තා. ඊළඟට කොවිඩ් වසංගතය නිසා ආර්ථිකය දුර්වල වුණා. ඊට පස්සේ දේශපාලන අස්ථාවරත්වය නිසා රට තවත් දුර්වල වුණා. කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත සම්බන්ධයෙන් දේශපාලන වශයෙන් ගත් තීන්දු නිසා රට තවදුරටත් කඩා වැටෙන්න පටන් ගත්තා. මේ තත්ත්වයෙන් ගොඩට එන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන. ඔබ සියලු දෙනාට තනියෙන් ගොඩ එන්නත් බැහැ. ඒ වගේම රට ගොඩගන්න ආණ්ඩුවට විතරක් තනියෙන් බැහැ. ඒ සඳහා ඊට සම්බන්ධ සියලු අංශ ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න ඕන. අපේ රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපිට අත්දැකීම් නැතිව නොවෙයි. 1970 /77 කාලයේ රටේ පැවති ආර්ථික ප්‍රතිපත්තිය අපිට ගැළපුණේ නැහැ. ඒ නොගැලපුනේ අපි නිතරම සුඛෝපභෝගී ජීවිත ප්‍රාර්ථනා කරන අය නිසයි යා ආයෝජන කිරීම සඳහා අපිට දුක් විඳින්න සිද්ධ වුණා. ඒක නිසා තමයි රටේ දේශපාලන පරිවර්තනයක් සිද්ධ වුණේ. නමුත් ඒ ආර්ථික ප්‍රතිපත්තිය රටේ සංවර්ධනය පැත්තෙන් ගතහොත් බොහොම වටිනව. උදාහරණයක් ගත්තොත් ඒ වකවානුවේ රටේ බොහෝ තැන්වල රෙදි පිළි කර්මාන්ත ආරම්භ කෙරුනා. මගේ ගමේ පවා මාසයකට සැරයක් ලොරියක් දෙකක් ඇවිත් රෙදිපිලි අරන් යන තත්ත්වයක් තිබුණා. ගමේ මිනිස්සු අතට සල්ලි ගියා රටේ විවෘත ආර්ථිකයන් පස්සේ මේ කර්මාන්ත කඩා වැටුණා. මිනිස්සු එදා දේශීය නිෂ්පාදනවල තිබුණු ගුණාත්මකභාවය හඳුනාගෙන තිබුණා ඒ වගේම ගොවියන්ට හොඳ ආර්ථිකයක් තිබුණා ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයලා තිබුණා. කොහොමද ඒ පහසුකම් සැලසුවේ. මැතිනිය එදා ලංකා බැංකුවේ ශාඛාවන් තුන්සිය ගණනක් ආරම්භ කළා. ඒවා ආරම්භ කළේ කෘෂි සේවා මධ්‍යස්ථානවල ගමේ සල්ලි රුපියල් දහය පහළොව ඒවායේ මිනිස්සු තැන්පත් කළා. ඒ මිනිස්සු ණය ගත්තා. ඒව ගෙව්වා දුප්පත් මිනිස්සු කවදාවත් බැංකුවලට පොලු තියන්නේ නැහැ. ඒ මගින් කර්මාන්තයි කෘෂිකර්මාන්තයි දියුණු වුණා.විවෘත ආර්ථිකය ඇවිත් අවුරුද්දකින් විතර මේ බැංකු ටික වහලා දැම්මා. එදා ඉඳලා ගමේ මනුස්සයාට ගනුදෙනු කරන්න බැංකුවක් නැහැ. අපි පැය විසි හතරෙන් සංවෘත්ත ආර්ථික ක්‍රමයෙන් විවෘත ක්‍රමයට ගියා. උතුරේ ලොරි 250ක් 300ක් දකුණේ වෙළඳපලට ආවා හොඳ ආදායමක් තිබුණා විවෘත වෙළඳ ආර්තිකය ඇවිත් මොකද වුණේ. උතුරේ ත්‍රස්තවාදය ගොඩනැගෙන්න අවශ්‍ය මූල බීජ වැටුණා. දකුණේ තරුණ අසහනයක් ආවා. දකුණේ ජනතාව විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදය පටන් ගත්තා රට අස්ථාවර වුණා මේ ඔක්කොටම බලපෑවේ ආර්ථිකය දුර්වල වීමයි.

අපේ රටේ කර්මාන්තකරුවන් ව්‍යවසායකයන් වෙනුවෙන් එක බැංකුවයි තිබුණේ ජාතික සංවර්ධන බැංකුව අනිත් සියල්ල වාණිජ බැංකු ලෝකයේ වෙනත් රටවල කර්මාන්තවලට කෘෂිකර්මාන්තයට වෙනම බැංකු තියෙනවා. අන්තිමට NDB බැංකුවත් පෞද්ගලික අංශයට විකුණලා දැම්මා. අන්තිමට උනේ රාජ්‍ය බැංකු ටිකත් පෞද්ගලික බැංකු ක්‍රමයට හැඩ ගැහුනා. පෞද්ගලික බැංකුවල අවශ්‍යතාවය වුණේ රට හදන්න නෙවෙයි. තමන් හැදෙන්නයි. උපරිම ලාභය තමයි ඔවුන්ගේ අරමුණ. රාජ්‍ය බැංකු තියෙන්නෙත් ඒකටද නැහැ. රාජ්‍ය බැංකු පිහිටුවීමේ අරමුණට පිටින් ගිහින් ගමේ මිනිස්සුන්ගෙන් රුපියල් දහය පහළොව එකතු කරල ඒක කොළඹට ගේනවා. නගරයේ ඉන්න ව්‍යවසායකයාට ඒ මුදල් දෙනවා. ඒවා කරන්නේ නියම විදිහට සක්‍යතා අධ්‍යන කරල නොවෙයි. දේශපාලන බලපෑම් මත. මහජන බැංකුවට එක පුද්ගලයකුගෙන් විතරක් රුපියල් බිලියන තිහක් එන්න තියෙනවා. ඒවා කපා හැරලා වගේ තමයි රාජ්‍ය බැංකු දෙකේ බිලියන 620 ක් තියෙනවා අක්‍රිය ණය. ස්ථිර වශයෙන් අපිට ගානක් කියන්න බැරි උනත් අඩු වශයෙන් ඒකෙන් භාගයක්වත් කපා හැරෙනවා. කිසිම සුරැකුමක් නැතුව තමයි ඒ ණය දීලා තියෙන්නේ. රාජ්‍ය බැංකු දෙක මේ තත්ත්වය හරියට කළමනාකරණය කළා නම් කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අද ඔවුන් කරන්නේ වසර අවසානයේ ලාභ මුදල් පෙන්වනවා. පෞද්ගලික බැංකු තියෙනවා මාස හයකට බිලියන දහයක් වගේ පෙන්නනවා. බැංකු ලාභ ලබලා නිසා ගනුදෙනුකරුවන්ට හරි සතුටුයි. කොහොමද ඒ ලාභ ලැබුනේ කියලා හිතන්න බොහෝ ගනුදෙනුකරුවන්ට අවබෝධයක් නැහැ. බැංකු ලාභ නොලබා පවත්වන්න යන්න බැහැ. නමුත් ඒක අසාධාරණ ලාභයක් පෙන්න බැහැ. මේ බැංකුවල යම්කිසි කළමනාකරණයක් අවශ්‍යයි. රාජ්‍ය විසින් තමයි සියලු පාර්ශ්ව ආරක්ෂා වෙන විදියට එම තුළනය කළ යුත්තේ කෘෂිකර්මාන්තයට ප්‍රතිපත්තියක් අවශ්‍යයි එක කන්නේකදී භෝග වගාවකට හොඳ මිලක් ලැබුනහම සියලු දෙනා ඊළඟ කන්නේ ඒ වගාවම කරනවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි වැඩිපුරම නිලධාරීන් ඉන්න ඒ ඒ ප්‍රදේශ කලාපවලට බෙදලා වෙන් වෙන්ව බෝග වගා කිරීමට උපදෙස් ලබා දිය යුතුයි යුතුයි. ඒක නිලධාරීන්ගේ වගකීම.

අද මහා පරිමාණයේ ආයෝජන සිද්ධ වෙන්නේ නැහැ. විදේශ ආයෝජකයන් එන්නේ නැහැ. ඇයි බදු වැඩි නිසා බදු ප්‍රතිපත්තියක් නැහැ ලෝකයේ රටක් දියුණු වෙන්න නම් ඒ රටේ ආයෝජකයන්ට ආණ්ඩුව කිව යුතුයි අපේ ඊළඟ වසර පහක හෝ දහයේ බදු අය කරන්නේ මෙහෙමයි කියලා. එතකොට මිනිස්සුන්ට යම් තෝරා ගැනීමක් කළ හැකියි. අපිට අද එක කරන්න බැහැ. පසුගිය වසර තිහක කාලය තුළ අපිට නිසි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක් නැහැ. ඒක හදා ගැනීම තමයි මූලික වශයෙන් කළ යුත්තේ. අපිට විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන සියයකට වැඩිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට 2005 දී රට භාර දෙනකොට ණය තිබුණා රුපියල් බිලියන 2160 ක්.ඊට පස්සේ 2015 යහපාලනය රට බාරගන්න කොට ඒක රුපියල් බිලියන 8000ක් වුණා.ගෝඨාභය රාජපක්ෂ රට භාර ගන්න කොට එම ණය බිලියන 13000ක් වෙලා තිබුණා. දැන් ඒක බිලියන 2,0000ක් පැනලා මේකෙ අඩුවීමක් නැහැ. දැන් යම් පාලනයක් සිද්ධ වෙනවා. ඒකත් උනේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා. සමහරු අයි.එම්.එෆ් එකට බනිනව ඒක නිවැරදි නැහැ. අයි.එම්.එෆ් කොන්දේසි දාන්නේ යම් පදනමක් ඇතුව .රාජ්‍ය දේපළ විකිණීමට අදාළ කොන්දේසි හරි කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම විකුණපුවා නඩු දාලා ආපහු ගත්තා. ඒවා ගැන නොවෙයි මම කියන්නේ සමහර හොඳ කොන්දේසි පිළිබඳවයි. අයි.එම්.එෆ් අපිට කිව්වා අල්ලස් හෝ දූෂණ නීතිය ශක්තිමත් කරන්න කියලා. මම ඇත්තටම 2015 ඒ පනත හදන්න පටන් ගත්තේ. 2004 අපි දූෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් කළා. 2015 අපි හදන්න පටන් ගත්ත පනත ඉවර කරගන්න බැරි වුණා. අපි අයි.එම්.එෆ් එකට කිව්වා අපි දූෂණ විරෝධී පනත ශක්තිමත් කරනවා ඔයගොල්ලෝ කියන නිසා නෙවෙයි ඒක අපිට අවශ්‍ය නිසා කියලා. අපි එය තවත් ශක්තිමත් කරන්න කටයුතු කළා. ඒකේ වැරැද්ද මොකක්ද. දේශපාලනඥයන්ට නිලධාරීන්ට හොරකම් කරන්න බැරි වෙන විදිහට නීති හදන එකේ වැරැද්ද මොකක්ද. අපි තවත් නීති හදනවා. ඒක කැබිනට් එකේ තියෙන්නේ තියෙන්නේ. අපරාධ වලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීම අපි එයත් කරනවා එතකොට හුඟක් ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. සමහර අයගේ වත්කම් ලැබුණු ආකාරය සාමාන්‍ය ක්‍රමයට හොයන්න බැහැ. අලුත් නීති අනුව ඒ අය ඔප්පු කළ යුතුයි වත්කම් ඉපයූ ආකාරය සාමාන්‍ය ක්‍රමය අනුව නීතිය ඉදිරියේ අපි ඔප්පු කළ යුතුයි මුදල් ලැබුණු ආකාරය. නමුත් අලුත් ක්‍රමය අනුව වත්කම් ඉපයූ අය තමයි එය ඔප්පු කල යුත්තේ. එහෙම ඔප්පු කරන්න බැරි දේපලක් තියෙනවා නම් එය රජයට පවරා පවරා ගන්නවා. නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නොමැතිව වුවත් එම වත්කම් පවරා ගත හැකියි. එහෙම හරි මේ රටේ දූෂණය නතර කළ යුතුයි.

අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය දියුණු කරන එකයි. නමුත් අඩුම සැලකිල්ලක් තියෙන්නේ ඒකට බැංකු සල්ලි තියෙන අයට විතරක් සලකන නිසා අන්තිමට මොකද උනේ? රට පුරා හතු පිපෙන්න වගේ මූල්‍ය සමාගම් බිහිවුණා. දහස් ගණන් ඒවා ටික දවසකින් කඩා වැටුනා. රුපියල් බිලියන ගණන් එකතු කරගත්තට පස්සේ තමයි ඒවා කඩා වැටෙන්නේ. සමහර නළුවොත් අද බැංකුකරුවන් වෙලා. රට පුරා ග්‍රාමීය බැංකු පටන්ගත්තා. ඒවා කළේ සල්ලි හොරකම් කරපු එක. ශුද්‍ර මූල්‍ය සමාගම්වලට රටේ ජනතාවගෙන් හතරෙන් එකක් ගොදුරු බවට පත්වෙලා. වන්නිලෑ ඇත්තො පවා මේකට කොටු වෙලා ඉන්නේ. මේ අයගෙන් ජනතාව බේරා ගත යුතුයි ඔබගේ ආයෝජන කර්මාන්තවල ප්‍රතිලාභ රටටයි ලැබෙන්නේ. ව්‍යවසායකයා කිසියම් විදිහකින් අසාර්ථක වෙනවා නම් ඔහුට අත දෙන ක්‍රමයක් අවශ්‍යයි. එම කඩා වැටුණු ආයතන ප්‍රතිව්‍යහගත කරන ක්‍රමයක් අවශ්‍යයි. එහෙම තමයි ලෝකයේ බැංකු කටයුතු කරන්නේ එවැනි අතරමැදි ක්‍රමවේදයක් සකස් කිරීමත් අප විසින් කළ යුතුයි.

සෞඛ්‍ය හා කර්මාන්ත කටයුතු ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ,ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය,සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ශෂිකා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.