රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට බල්ලා උසිගැන්වූ පුද්ගලයාට වෙඩි

මීතොටමුල්ල, වඩුගොඩවත්තේ කසිප්පු ජාවාරම්කරුවකුගේ නි‍වෙසක් පරීක්ෂා කිරීමට ගිය වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් පිරිසකට නි‍වෙසට ඇතුළුවීමට ඉඩ නොදී නි‍වෙසේ ඇතිදැඩි කරන සුනඛයාව ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබේ.

මෙහිදී පොලිස් නිලධාරීන් සුනඛයාගේ සපාකෑම්වලට ලක්වන විට සුනඛයාව උසිගන්වමින් සිටි කසිප්පු ජාවාරම්කරුට පොලිසිය වෙඩි තබා ඇත. එම වෙඩිල්ල කසිප්පු ජාවාරම්කරුගේ දකුණු පාදයට වැදී ඇති බව පොලිසිය කියයි.

සුනඛයා සපාකෑමෙන් පොලිස් සැරයන්වරයකු ද තුවාල ලබා ඇත. කසිප්පු ජාවාරම්කරුත් පොලිස් සැරයන්වරයාත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට කසිප්පු ජාවාරම්කරු රෝහල තුළදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු අවුරුදු 52ක් වයසැති ප්‍රියංකර ඩයස් නමැති අයෙකි.

මෙම සිදුවීම වී ඇත්තේ පෙරේදා (19) දහවල් කාලයේදීය. සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.