රත්නපුරට ගංවතුර – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

(01)  දින සවස සිට  රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති  බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කමණාකරණ ඒකකය පවසයි.

ඒ අනුව එදින  මධ්‍යම රාත්‍රිය  වන විට, රත්නපුර නගර ආසන්නයේ කළු ගගේ මුවගම සවිකර තිබෙන ජල මාපකයට අනුව කළු ගඟේ ජල මට්ටම මීටර් 05.77 ක්  ලෙස පැවතුණි.

කඩින් කඩ, ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කළු ගඟේ සහ එහි අතු ගංගාවල ජල මට්ටම තව දුරටත් ඉහළ යාමේ අවධානමක් ද පවතින බව සදහන්ය.

කුරු ගඟ, ගලතුර ඔය,කුකලේ ගඟ,නිරිඇල්ල ගඟ යන ගංගාවලද ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යමින් ඇති අතර රත්නපුර  පිහිටි සිවලි ක්‍රීඩා පිටිය, මුද්දුව, ගොඩිගමුව, රත්නපුර – පානදුර ප්‍රධාන මාර්ගය ඇතුළු  පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව ආපදා කමණාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රදේශ වලට 100 mm වඩා වඩා වැඩි වර්ෂාවක් ඇදහැලෙන  බවට  වාර්තා වන අතර කළු ගඟ, කළු ගඟේ අතු ගංගා හා පහත් බිම්වල පදිංචිව සිටින පිරිස් මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින මෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම්  වසන්ත ගුණරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර  කලවාන මාර්ගයට පස්කදු සහ ගස් කඩා වැටිම නිසා අයගම දක්වා සියලු මාර්ග පහසුකම් අවහිර වී විදුලි පද්ධතිය ද බිද වැටී ඇත.

අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව සමග කළු ගඟේ ජල මට්ටම  මීටර් 9.5 දක්වා  යම් හෙයකින් වැඩි වුවහොත් එය විශාල ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද රත්නපුර   ආපදා කළමනාකරන ඒකකය සඳහන් කරයි.