අද රට බංකොලොත් වෙලා තියෙන්නේ ණය අරගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා – සජිත්

අද වන විට රට බංකොලොත් වී ඇත්තේ ණය ලබාගෙන ආදායමක් නොලබන ව්‍යාපෘතිවලට යෙදවීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙම න්‍යාය කුඩා කඩයකට පවා අදාල බවත්, කඩයකට ණයට බඩු භාණ්ඩ මිල දී ගෙන, ඒවා අලෙවි නොවුනහොත් ණය ගෙවීමට නොහැකිවීම නිසා කඩය වසා දැමීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

රටක් ව්‍යාපෘති කිරීමේදී වැයවන මුදල නැවත උපයාගත හැකිදැයි ගණන් සාදා බැලිය යුතු බවද, අද රටම ඉල්ලං කා ඇත්තේ එසේ නොකර විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිරූප නිර්මාණය කිරීම සඳහා ගිනි පොළියට ණය රැගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා බවයි ඔහු සඳහන් කළේ.

වචනයට රැවටී රටේ ජනතාව ඔවුන්ට වරමක් ලබාදුන් බවද, එසේ වරම ලබාගත් අය තමන්ට සහ තම පවුල්වලට රටම සින්නකර ඔප්පුවෙන් ලියාගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.