සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කර ටියුෂන් ගුරුවරයකුට යැවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගුරුවරිය සහ විශ්‍රාමික ගුරුවරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය ඊයේ (30) නියම කළාය.
මහේස්ත්‍රාත්වරිය විසින් ඔවුන් දෙදෙනාට විදේශ ගමන් තහනමක් ද පැනවනු ලැබුවාය.
මෙසේ ඇප නියම වූයේ පසුගියදා පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නිරීක්ෂකවරියක ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ රාජකාරි කටයුතු කළ රුවනි නදීෂා නමැති ගුරුවරියක සහ රෝහණ චන්ද්‍රසිරි නමැති විශ්‍රාමික ටියුෂන් පන්ති ගුරුවරයෙකි.
මෙහිදී වැඩිදුර වාර්තාවකින් අධිකරණයේ හමුවේ කරුණු දක්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක තුෂාර මහතා පැවැසුවේ දෙවැනි විත්තිකාරිය ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ හය වැනි නිරීක්ෂකවරියක ලෙස රාජකාරි කරමින් සිටියදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ පළමු සහ දෙවන කොටත් ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කොට වට්ස්ඇප් ජාලය මඟින් යවා ඇති බවයි.
අංක 45250 සහ 45263 අතර වූ ප්‍රශ්න පත්‍රය සැකකාරිය වෙත නිකුත් කොට තිබූ බව විභාග දෙපාර්තමේන්තුවේ සහකාර විභාග කොමසාරිස් සුභ්යමනියම් විශ්වනාදන් මහතාගේ වාර්තාවට අනුව සනාථ වන බව ද කියා සිටියේය.
පළමු වැනි විත්තිකාර විශ්‍රාමික පාසල් ගුරුවරයා මහනුවර ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයකු ලෙස කටයුතු කරන බවත්, ඔහුගේ වට්ස්ඇප් ජාලයට එම ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරුන් 1064 දෙනකු සම්බන්ධව සිටින බවත් උප පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් කීවේය. එම විභාගය පෙරවරු 8.50ට ආරම්භ වීමට නියමිතව තිබූ බවත් සැකකාරිය පෙ.ව. 8.20 ප්‍රශ්න පත්තර කොටස් දෙක ඡායාරූපගත කොට පෙ.ව. 9.01ට මුදා හැර ඇති බවත් ඒ මහතා පැවැසුවේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා හසලක ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයකු පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත් එම විමර්ශන කටයුතු අවසන් වනතුරු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන බවත්ය. මෙහිදී පළමු වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාගස්හේන මහතා කරුණු දක්වා සිටිමින් මෙසේ කීවේය. “පළමු වන විත්තිකරු විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්. ඔහු මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වනවා.
ඔහුගේ වට්ස්ඇප් ජාලයේ සිටින අනෙකුත් ටියුෂන් ගුරුවරුන්ගේ පහසුව සඳහායි ඔහු එම දුරකතන ජාලය පවත්වාගෙන යන්නේ. මේ සිද්ධියේදී කිසිදු පාර්ශ්වයකට අගතියක් සිදුවී නෑ. මහජන කැලඹීමක් ද ඇතිවී නෑ. ඕනෑම ඇප කොන්දේසියක් මත අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුව මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
දෙවන සැකකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ උපේන්ද්‍ර දිසානායක මහතා මෙලෙස පැවැසුවේය.
“ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඡායාරූපගත කර මුදා හැරි බව ප්‍රකාශ කළත් ඒ වනවිට විභාගය ආරම්භවී සිසුන් ප්‍රශ්න පත්තරවලට පිළිතුරු ලියමින් සිට තිබෙනවා. යහපත් ජීවිතයක් ගත කරන තම සේවාදායකයාගේ එම දුරකතන ජාලය පෞද්ගලික ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පහසුකම් සලසන ජාලයක්. ඕනෑම කොන්දේසියක් මත සැකකරුවන් මුදා හරින්නැයි ඉල්ලා සිටිනවා.”
එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය විසින් ඔවුන් ඇපමත මුදා හරිනු ලැබුවාය.