ඡන්දයක් තිබ්බොත් පරදින බව රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධියේ පිළි අරගෙන තියෙනවා – නලින්ද ජයතිස්ස

ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වන බව ඔවුන් ප්‍රසිද්ධියේ පිළි අරගෙන ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

වසර 2කින් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කල් දැමිය යුතු බවට එම පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර ප්‍රකාශයක් සිදුකර ඇත්තේ එබැවින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, ඔවුන් පරාජය පිළිගත්තද, රටේ ජනතාවගේ පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමට ඔවුන්ට අයිතියක් නොමැති බවද, මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳ සිතන්නටවත් කිසිදු අයිතියක් ජනතාව ඔවුන්​ට ලබාදී නොමැති බවද ඔහු සඳහන් කළා. 

දැන් මෙරට සිටින්නේ පෙර මෙන් ජනතාවක් නොව, ලක්ෂ 69ක් ඡන්ද ලබාගත් ගෝඨාභය රාජපක්ෂ පාරට බැස එළවූ ජනතාවක් බවත්, එවන් ජනතාවකට පාර්ලිමේන්තුවේ 134ක් අත් ඔසවා තෝරාගත්, කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහව එළවා දැමීම කජ්ජක් නොවන බවයි ඔහු අවධාරණය කළේ.