BMW රථ 1728 ක් ආනයනයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ​ව නව විමර්ශනයක් කිරීම​ට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණයෙන් නියෝ​ග

2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ BMW වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරීමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබෙනවා.

එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බැවින් මෝටර් රථයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, අදාළ සමාගම ඊට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම මෝටර් රථ ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මානු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති බැවින් නව විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ.