අනතුරට පත් වාහන ලක්ෂ 50ක බැඳුම්කර මත නිදහස්

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවති නඩුව (30) යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කඳවූ අවස්ථාවේ එම අනතුරට සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත නිදහස් කර, සැකකාර තරගකරුවන් දෙදෙනාට යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් නියම කළේය.

ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැද පාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36) සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්. ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරගකරුවන් දෙදෙනාට මෙසේ නියෝග කරනු ලැබිණි.

එම අනතුරින් අවුරුදු 8ක් වයසැති කුඩා දැරියක ඇතුළු හත්දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා දියතලාව සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූ බව ද පොලිසිය සඳහන් කළේය.

මෙම නඩුව යළි (30) බණ්ඩාරවෙල අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ අදාළ තරගකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ පාරින්ද වීරසිංහ, නීතිඥ චමින්ද බණ්ඩාර යන මහත්වරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රටේ පවතින මෝටර් රථ තරග නීතිය අනුව සාපරාධී ක්‍රියාවක් කර නැති බවත් තරගයක් පැවැත්වෙන අතරතුරේ තරගකරුවන් තරගකාරි මානසිකත්වයෙන් තරගයට මුහුණදී ඇති බවය.

මෙහිදී දියතලාව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙහි පරීක්ෂණ කටයුතු තවම අවසන් වී නැති බවත් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරන බවත්ය. අදාළ තරගකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්දැයි දැන ගැනීමට ඔවුන්ගේ රුධිර පරීක්ෂාවක් කිරීමට රුධිර සාම්පල රස පරීක්ෂකට යැවීමට ඇති බව ද කීය.

මෙහිදී නීතිඥ පාරින්ද වීරසිංහ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම මෝටර් රථ තරග, තරග ධාවන පථයක අදාළ නීති රීති යටතේ පැවති බවත්ය.

මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා අදාළ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50 බැගින් වූ බැඳුම්කර දෙකක් මත මුදාහැර, තරගකරුවන් දෙදෙනාට අධිකරණය මඟින් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

මෙම මාරක මෝටර් රථ අනතුරේ මරණ පරීක්ෂණවල සාක්ෂි කැඳවීම මේ මස 14 වැනි දිනට මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබීය.