මොරොක්කෝවේ මරකෙච් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක ගෝන් ප්‍රී පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 තත්පර 13.75කින් නිමකොට රන් පදක්කමක් දිනාගත් 18 හැවිරිදි ජනනි ධනංජනා ඊයේ දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගත්තාය. එක් අතක් අහිමි (T47) කාණ්ඩයෙන් දුර පැනීමේ ඉසව්වට එක්වූ ජනනි මීටර් 5. 23ක දක්ෂතාවකින් මෙම රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ජනනි ධනංජනා සහභාගි වූ ඉසව් දෙකෙන්ම පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. ඇය ශ්‍රී ලංකාවේදී මෙම ඉසව්ව මීටර් 5. 33ක දක්ෂතාවකින් නිමකොට හොඳම පෞද්ගලික දක්ෂතාව සටහන් කර තිබිණි.
මේ අතර වැළමිටෙන් පහළ අත් දෙකම අහිමි (T46) කාණ්ඩයෙන් දුර පැනීමේඉසව්වට එක්වූ කුමුදු ප්‍රියංකා මීටර් 4. 50ක දක්ෂතාවකින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. ඒ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා නාමය ඉදිරියේ රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් හා ලෝකඩ පදක්කම් 2ක් සටහන්වී තිබේ. දණ හිසෙන් පහළ ආබාධිත (F44) කාණ්ඩයෙන් තරග කළ සමිත දුලාන් හෙල්ල විසිකිරීමේ ඉසව්ව මීටර් 65. 57කින් නිමකොට රන් පදක්කම දිනා ගත් අතර, වැලමිටෙන් පහළ අතක් අහිමි (T46) කාණ්ඩයෙන් මීටර් 1500 තරගයට එක්වූ ප්‍රදීප් සෝමසිරි මිනිත්තු 4: 04. 23කින් හා පාදයේ ඌනතාවක් සහිත (T42) කාණ්ඩයෙන් තරග කළ අනිල් ප්‍රසන්න තත්පර 12. 84කින් මීටර් 100 රිදී පදක්කම දිනා ගත්හ. එම තරග අංශයෙන්ම තරග කළ බුද්ධික ඉන්ද්‍රපාල තත්පර 13.34කින් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය.