අපි නැඟිටින්න ඕනේ ක්‍රමානුකූලව මිසක් ජනප්‍රියතාව වෙනුවෙන් නෙවෙයි
* ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ රටවල් සියලු දෙනාම එක තැනකට ආවා
* අද පොලී අනුපාතයන් අඩු වෙලා තියනවා
* රාජ්‍ය ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාසයෙන් වැඩකටයුතු කරන්න
මෑතකදී ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික සහ මූල්‍ය අභියෝග පරදා රටක් වශයෙන් අද වන විට යම්කිසි සාධනීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. නමුත් රටේ ජනතාව ඇතැම් අවස්ථාවල විවිධ පීඩාවන්ට මුහුණදෙන තත්වයක් ද නැතුවා නොවේ. ඉදිරියේ ආර්ථික වශයෙන් අත්කර ගත හැකි ජයග්‍රහණ මෙන්ම වත්මන් රජය ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් මොනවාද? ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය කෙසේද? තවද රජයේ ඉදිරි සැලසුම් මොනවාද යන්න පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සමඟ කළ සංවාදයකි මේ.
අද වන විට රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකි ද?
සෑහීමකට පත්වෙන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට නොතේරෙනවා වෙන්න බැහැ. ප්‍රශ්නය තියන්නෙ එතැන නෙමෙයි. අපි කොතෙක් දුරට මේ ශක්තිමත්භාවය තියාගන්නවා ද කියන කාරණාව සම්බන්ධවයි. ඡන්දයක් ප්‍රකාශයට පත්වෙලා තිබෙන නිසා ගොඩක් අය නොයෙක් දේවල් කියනවා. ලස්සන දේවල් කියනවා. නමුත් එකක්වත් මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න නෙමෙයි. මේ අර්බුදය තුළ තමයි එක රටක් වෙනුවෙන් ලෝකයේ සියලු රටවල් පෙරට ආපු අවස්ථාව වෙන්නෙ. ගොඩක් අය කියන්නෙ මිනිස්සු අහන්න කැමැති දේවල්නෙ. කරන්න පුළුවන් දේ නෙමෙයි කියන්නෙ. අහන්න කැමැති දේයි. අර්බුදයක් තිෙයනකොට යම් සහනයක් දෙනවා නම් ඒක අහන්න කැමැතියි. නමුත් ඒ සහන දෙන විදිය මොකක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාවලියෙ යනවා ද නැද්ද? ඒක වෙනස් කරනවා නම් මොනවද වෙනස් කරන්නෙ? ඒක තනි තීන්දුවක් අනුව වෙනස් කරන්න බැහැ. ඒක මුළු ලෝකයේ රටවල් ඔක්කොමත් එක්ක බැඳිලා තියන්නෙ.
යම් යම් දර්ශක අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යම්කිසි ප්‍රගතියක් ලබා තිබෙන බව පැවසුවත් ජනතාව මුහුණදෙන පීඩාවන් තවමත් එලෙසම පවතිනවා. මේ තත්ත්වයට හේතුව කුමක් ද?
සම්පූර්ණ වෙලා නැති වුණාට පීඩාව අඩු වෙලා තියෙනවා. පැය 13ක් විදුලිය තිබුණෙ නැහැ. දවස් 4 – 5 පෝලිම්වල හිටියා. බඩු මිල අහස උසට ගියා. උද්ධමනය සියයට 70ට ගියා. ආනයනය කරන්න සල්ලි නැති වුණා. පොහොර ටික නැති වුණා. බෙහෙත් ටික නැති වුණා. ගෑස් ටික නැති වුණා. මාස 18කට කලින් මේ ඔක්කොම නැතුව තිබුණ රටක් මේක. ඒවා ඉක්මනට කඩා වැටෙනවා වගේ ගොඩනැඟෙන්නෙ නැහැ. ගිනි තියන්න ලේසියි. ගිනි තිබ්බා වගේ ඉක්මනින් ගින්න නිවන්න බැහැ. ගින්න නිවාගෙන නැවත ගොඩනැගීමක් කරගෙන යන්නෙ. එතකොට අත්තිවාරමේ ඉඳලම ගොඩනඟන්න ඕනෙ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වුණාට පස්සෙ නැවතිලා තිබුණ ව්‍යාපෘති ඔක්කොම පටන් ගනීවි. එතකොට ඒ ආර්ථික ක්‍රියාවලිය වේගවත් වෙලා ජනතාවට තවත් සහන ලැබෙයි. මේ ක්‍රමානුකූලව නැඟිටීමක් මිසක් ජනප්‍රියතාව වෙනුවෙන් නැඟිටීමක් කරන්න බැහැ.
ඇතැම් අවස්ථාවල කරන බදු සංශෝධනවලදී ජනතාව තවදුරටත් පීඩාවට පත්වෙනවා නේද?
මේ ප්‍රතිසංස්කරණ අසීරුයි. අපි කියන්නෙ නැහැ බොහොම පහසු ඒවා කියලා. ඒවා කරන්නත් අමාරුයි. කෙටිකාලීනව ඒකෙන් ඇතිවන පීඩනයත් දරා ගන්න අමාරුයි. නමුත් අපි අමාරු කාලයේ සැලකිය යුතු දුරක් ඇවිල්ලා තිබෙනවා. ඒක ක්‍රමානුකූලව අමාරුකම් අඩුවෙන කාලයට යනකොට නැවත අමාරුකම් වැඩිවන කාලයට ගමන් කරන්න බැහැ.
බදු පහත හෙළීමෙන් රජයට අහිමිවූ බදු ආදායම නැවත පියවාගන්නේ කොහොමද?
මේකත් හරියට කන්න ඕනෙ වුණාම කබරගොයා තලගොයා කරනවා වගේ වැඩක්නෙ. උදාහරණයක් විදියට ගත්තම බදු අඩු කරාම මෙච්චර අවාසියක් වෙනවා. එතකොට අර්බුදයක් එනවා කියලා කෑ ගැහුවා. ඊළඟ පොලී අනුපාතයන්, උද්ධමනය පාලනය කරන්න මුදල් ප්‍රතිපත්තිය වෙනස් කරලා පොලී අනුපාතයන් ඉහළ ගියාම එහෙම කරන්න බැහැ, කොහොමද ව්‍යාපාරිකයන් ජීවත් වෙන්නෙ කියලා කෑ ගැහුවා. නමුත් දැන් අද පොලී අනුපාතයන් අඩු වෙලා තියනවා. අද ඒකෙ අනිත් පැත්ත අරගෙන තැන්පත්කරුවො කොහොමද ජීවත් වෙන්නෙ කියලා අහනවා. ඒ නිසා කියන තරම් මේ අර්බුදය කළමනාකරණය කිරීම පහසු නම් විපක්ෂය පැනලා දුවන්නෙ නැහැනෙ. මේ තිෙයන අමාරුකම් මැද ජනතාවත් තේරුම් ගන්න ඕනෙ කියල මම හිතනවා. මොකද සරල විදියට ප්‍රශ්න දිහා බලලා රටක් වෙනස් කරන්න පුළුවන් නම් රටක් අර්බුදයකට යන්නෙත් නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදිහට ණය ප්‍රතිව්‍යුහගතකරණයට රටවල්වල සහයෝගය ලැබෙයි කියා විශ්වාසයක් තිබෙනවා ද?
ලෝකයේ අපිට සහයෝගය නොලැබුණු රටක් නැහැ. අපේ ණය හිමියෙක් වෙන්න පුළුවන්, වෙනත් කටයුත්තක කොටස්කරුවෙක් වෙන්න පුළුවන්. ඒකයි මම කිව්වෙ නැවත ආර්ථිකයේ පිබිදීමක් ඇති කර ගැනීමට සහ අර්බුදයෙන් මිදීමට ගත්ත ක්‍රියාමාර්ගයන්වල දී මුළු ලෝකයම එක තැනකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ටතම උදාහරණයක් වෙනවා. අපි දකිනවා බොහෝ රටවල්වල අර්බුදකාරී තත්ත්වයන්වලදී ලෝකයේ රටවල් අතර බෙදීම් පෙන්නුම් කරනවා. ඒක රුසියාව, යුක්රේනය තුළ පවතින අර්බුදය තුළත් අපි දකිනවා. මැදපෙරදිග ඇතිවුණ අර්බුදය තුළත් අපි දකිනවා. ලෝකයේ රටවල් දෙපැත්තකට බෙදෙනවා. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ රටවල් සියලු දෙනාම එක තැනකට ආවා.
පසුගිය කාලය පුරාවට විවිධ ආණ්ඩු යටතේ ශ්‍රී ලංකාවට විදෙස් ණය ලබාගෙන තිබෙනවා. එම ණය පියවීමේ හැකියාව රජය සතුව තිබේ ද?
2024 වසරේ පෙබරවාරි මාසය වෙනකොට අපේ රටේ සමස්ත බහුපාර්ශ්වික, ද්විපාර්ශ්වික සහ වාණිජ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් වෙනවා. ණය ගෙවීම නතර කරපු දිනයේ සිට මේ වසරේ පෙබරවාරි මාසය වෙනකම් අපි ඩොලර් මිලියන 6,880ක් ගෙවලා නැහැ. ඒ අතරතුර අපි මිලියන 1,909ක් ගෙවලා තිබෙනවා. මේ කළමනාකරණය කිරීම වැදගත් වෙනවා. සමහර අයගේ මතයක් තිබෙනවා ඩොලරයට සාපේක්ෂව රුපියලේ විනිමය අනුපාතය ශක්තිමත් වීම තුළ අපිට ඊළඟට ණය ගෙවන්න ගත්විට ඒක අනිත් පැත්තට වැඩ කරයි කියලා. ණය ගෙවන්න යනකොට නැවත අර්බුදයේ මුලට එයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හදලා තියෙන්නෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය වීම, ණය ගෙවීම ආරම්භ කිරීම, ණය ගෙවීම ආරම්භ කළ විට නැවත කඩා වැටීමකට ලක් නොවීමටයි. ඒකයි අපි මේ මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරලා තිබෙන්නෙ. ඊළඟට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු වෙනවා.
මේ යන ගමන් මඟ තව මාස 18ක කාලයක් ගමන් කළවිට ලෝකයේ එන ඕනෑම අභියෝගයක් තුළ රටේ ආර්ථික ක්‍රමයේ වැටීමක් නැවත එන්නෙ නැහැ කියලා අපිට සහතික වෙන්න පුළුවන් වෙනවා. නමුත් කෙටිකාලීනව මේක වෙනස් කරන්න ගියොත් නැවත අර්බුදයේ මුලටම යනවා කියන දේත් සහතිකයි.
ණය වාරික ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා ද? ණය පියවීම සිදුවන්නේ කෙසේ ද?
2028 වසර දක්වා ණය පියවීම නවත්වලා කියලා විවිධ ප්‍රකාශයන් වෙනවා. ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළොත් අපි විකල්ප යෝජනා කිහිපයකුත් සමඟ සාකච්ඡා කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇවිල්ලා තිබෙනවා. එතකොට අපි මේ ප්‍රතිපත්තිමය එකඟතාව වාණිජ ණය හිමියන්ගෙනුත් ලබා ගැනීමට කටයුතු කරනවා. පෞද්ගලික බැඳුම්කර හිමියන්ගෙනුත් ලබා ගැනීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම ද්වි පාර්ශ්වික ණය අවබෝධතා ගිවිසුම් බවට පරිවර්තනය විය යුතුයි. ජුනි මාසයේ දී අපේ තුන් වැනි වාරිකය ලබා ගැනීමට ඒක සම්පූර්ණ වීම අපිට වැදගත් වෙනවා. ඒ නිසා හරියටම මේ සාකච්ඡාව අවසන් වුණාට පසුව අපි කියන්නම් පැහැදිලිවම අපි ලබන සහන කටයුත්ත මොකක්ද කියලා.
අස්වැසුම සම්බන්ධව ඉදිරියට යන වැඩපිළිවෙළ කොහොම ද?
දැන් මේ වෙනකොට ගෙවීම්වලට පළමුවැනි වටයෙන් 1,840,000ක් සුදුසුකම් ලබලා තිබෙනවා. ඒක ඇතුළෙ 182,000ක් අභියාචනා විරෝධතා පරික්ෂා කරලා සුදුසුකම් ලබපු අය ඉන්නවා. නමුත් ඒ එක්කම ඒකෙ ඇතුළෙ තව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ගිණුම් විවෘත කරලා නැති පිරිසක් ඉන්නවා. ඒ අයට කොතෙක් දැනුම්වත් කිරීම් කරත් ඒ අය ගිහින් විවෘත කරන්නෙ නැහැ කියලා කියනවා. එතකොට අපිට ගෙවීමක් කරන්න බැහැ. අපිට ලක්ෂ 20 දක්වා යන්නත් ඕනෙ. මේ වසරේ ජුනි මාසයේ ඉඳලා ලක්ෂ 24ක් දක්වා ගෙවීම් සිදු කරන්න ඕනෙ. අපි මේ වසරේ බලාපොරොත්තු වෙනවා බිලියන 205ක මුදලක් අස්වැසුම සහ අනෙකුත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල්වලට වියදම් කරන්න. නමුත් ඉස්සර වගේ හිතුමතේ වියදම් කරන්න බැහැ. ඒකට නිසි ක්‍රමවේදයක් තිබෙනවා. මෘදුකාංගයක් තිබෙනවා. හඳුනා ගැනීමක් කළ යුතුයි.
සහතික කිරීම් කළ යුතුයි. විනිවිදභාවයක් තිබිය යුතුයි. කලින් දීපු ක්‍රමයට වඩා වෙනස් වෙලා තිබෙන්නෙ එතැනයි. එතකොට මේකෙ වැදගත් වෙන්නෙ එකක් අපි මැයි මාසෙ වෙනකොට දැනට ඉල්ලුම්පත්‍ර කැඳවලා තිබෙනවා. අපි හිතනවා මේ සියලු ඉල්ලුම්පත්‍ර ඇතුළත් කළාම ලක්ෂ 4ක පමණ ඉල්ලුම්පත් ප්‍රමාණයක් අලුතින් එකතු වෙනවා කියලා. ගිය සැරේ ලැබුණු ලක්ෂ 37ට අමතරව අලුතින් ලක්ෂ 4ක් ඇවිල්ලා තිබෙනවා. එතකොට අපි මැයි මාසෙ ඉඳලා මේ අය සහතික කිරීම, ඊළඟට ගිය අවුරුද්දෙ සහතික කරලා දීමනා ගත්ත කණ්ඩායම නැවත සහතික කිරීම (ගත්ත නොගත්ත සහ ඉල්ලුම් කරපු) පළමු වැනි වටේ දී අපි ලක්ෂ 34ක් සහතික කළා. ඒ ලක්ෂ 34 නැවත සහතික කිරීම, අලුතින් සහතික කිරීම සහ ජුනි මාසය වනවිට අනිවාර්යයෙන්ම අලුත් ලැයිස්තුවට ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා. එම ගැටලුව විසඳීම සඳහා රජයේ මැදිහත්වීම කෙසේ ද ?
වැටුප් ගෙවීමේ දී පැවැති බරපතළ අර්බුදය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහත වැටී තිබෙනවා. මුලදී අපි වැඩි කළ රුපියල් 10,000 දීමනාව අප්‍රේල් මාසයේ සිට ඉහළ දමන්න පියවර ගෙන තිබෙනවා. තවත් මාස 6ක් ඇතුළත හිඟ මුදල ගෙවන්න රජය තීරණය කර තිබෙනවා. බලාපොරොත්තු වූ ආකාරයෙන් ආදායම් ඉහළ යනු ඇතැයි විශ්වාසයෙන් යුතුව වැඩ කරන්න. නියමිතව තිබූ රුපියල් 10000න් 5000ක මුදලක් ජනවාරි මාසයේ සිට ඉහළ නංවන්න පියවර ගත්තා. යම්කිසි අයෙක් විශ්‍රාම යන්නේ නම් ඔවුන්ට ද මේ හිඟ මුදල ගළපන්න කටයුතු කරනවා. මේ වසර ඇතුළතම මේ හිඟය ගළපන්න අපි උත්සාහ කරනවා. ස්වයං රැකියා සඳහා ජනතාව යොමු කරවන්නත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කරන්නත් අවශ්‍ය වෙනවා.