පුද්ගලයන් 500කගෙන් එක් අයකුට පමණක් පිහිටන විරල තත්ත්වයක් වන වකුගඩු දෙක යටින් එකට බද්ධ වූ පුද්ගලයකුගේ වකුගඩු දෙකේම හටගත් ගල් නවතම තාක්ෂණය යටතේ ඉවත් කිරීමේ විශේෂ සැත්කමක් පසුගියදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී සිදු කෙරිණි.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ ඇතුළු කණ්ඩායමක් විසින් මේ සුවිශේෂී සැත්කම කළ අතර එම සැත්කම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකය සිදු කළ 150 වැනි වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මය වීම ද විශේෂත්වයකි.
මේ සුවිශේෂී ශල්‍යකර්මය පිළිබඳව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ මෙසේ පැවසීය.
අද කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය ඒකකයට විශේෂ දවසක්. අද අපේ අංශයේ 150 වැනි වකුගඩුවල ගල් ඉවත් කිරීමේ ශල්‍ය කර්මය සිදුකළා. මේ ශල්‍යකර්මයත් විශේෂයි. මේ ශල්‍යකර්මය අප කරන්නේ අශ්ව ලාඩමක හැඩයෙන් යුත් වකුගඩු දෙකක (Hose Shoe Kidney) එනම් වකුගඩු දෙක පහළින් එකට සම්බන්ධ වූ පුද්ගලයකුගේ වකුගඩු දෙකේම තිබුණු ගල් එකම අවස්ථාවක ඉවත් කිරීමටයි.
මෙසේ අශ්ව ලාඩමක හැඩයෙන් යුත් වකුගඩු දෙකක් ඇතිවීම පුද්ගලයන් 500කින් එක් අයෙකුගේ පමණ පිහිටන විරල පිහිටීමක්. නමුත් මෙය විකෘති තත්ත්වයක් නොවෙයි. අද අප මේ ශල්‍යකර්මය කළේ වයස අවුරුදු 38ක පිරිමි අයකුටයි. මේ ශල්‍යකර්මයේ තවත් විශේෂත්වයක් තමයි අප ඉතාමත් නවීන උපකරණ මේ සැත්කමේදී භාවිත කිරීම.
අප ළඟ දැනටමත් තිබෙනවා වෝට් 140ක ඉතාමත් අධිබලැති ලේසර් යන්ත්‍රයක්. ඒ ලේසර් යන්ත්‍රයෙන් වකුගඩුවල පිහිටි ගල් ඉතාම සියුම් කොටස්වලට කඩන්න පුළුවන්. ඒ වගේම මේ ශල්‍යකර්මය සඳහා අප භාවිත කළා නම්‍යශීලී නළයක් (Disposable Flexible Yuritroscopy). මේ උපකරණය රජයේ රෝහල්වල මෙතෙක් භාවිත නොකළ උපකරණයක්. මේ උපකරණය මඟින් වකුගඩුවේ පිහිටි ඉතාමත් සංකීර්ණ නාළ පද්ධතියට යොමු වෙලා අප වකුගඩුවේ සියලුම කොටස්වලට ගිහින් එම ගල් කුඩා කොටස්වලට කඩා වකුගඩුවට ඇතුළු කළ ටියුබ් එක මාර්ගයෙන් එළියට ගත්තා. අප භාවිත කළ ලේසර් යන්ත්‍රයෙන් වකුගඩුවේ පිහිටි ගල් ඉතාම කුඩා කොටස්වලට සහ දූවිලි බවට පත් කර ශරීරයෙන් ඉවතට ගැනීමට හැකියාව ලැබුණා. අප මේ සඳහා රෝගියාගේ ශරීරයේ සුළැඟිල්ලේ නියපොත්තක් තරම් ප්‍රමාණයේ සිදුරක් පමණයි යොදා ගත්තේ.
මා මේ අවස්ථාවේ විශේෂ පණිවිඩයක් ලබාදීමට කැමතියි. තරුණ වයසේ පසුවන අයට. මේ ශල්‍යකර්මය කළ පුද්ගලයා වයස 38ක කෙනෙක්. තමන්ගේ වකුගඩුවේ ගලක් තිබෙනවා නම් ශල්‍යකර්මයකින් තමයි එය ඉවත් කළ යුත්තේ. ශල්‍යකර්මයකින් ගලක් ඉවත් කළත් නැවත වකුගඩුවක ගල් ඇති විය හැකියි. දැන් වකුගඩුවක පිහිටන ගලක් ඉවත් කිරීමට විශාල කැපුම් සහිත ශල්‍යකර්මවලට යා යුතු නැහැ. මෙවැනි ශල්‍යකර්මයකට අප රෝගියාගේ ශරීරයේ සුළැඟිල්ලේ නියපොත්තක් තරම් ප්‍රමාණයේ සිදුරක් පමණයි කරන්නේ. එම නිසා රෝගියාට ශල්‍යකර්මයෙන් පසුව දින කීපයකින් ඔහුගේ සාමාන්‍ය ජීවන ක්‍රියාකාරකම්වල යෙදීමට හැකියාව ලැබෙනවා.
මේ සුවිශේෂී ශල්‍යකර්මය සඳහා වකුගඩු සහ මෞත්‍රලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ සමඟ වකුගඩු සහ මෞත්‍රලිංගික ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය අරුණි, වෛද්‍ය අනුපමා, වෛද්‍ය යුරේකා, නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය මුදිත සහ වෛද්‍ය තුෂානි, ශල්‍යාගාර හෙද සොයුරිය රාජිනී, ශල්‍යාගාර හෙද නිලධාරීන් වන දුලාරි, එරන්දි, චාන්දනී, නිමේෂා, ප්‍රියංගනී, විකිරණ ශිල්පී දිල්ශාන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ උදිත, ප්‍රදීප්, රසික කණ්ඩායම එක්වී සිටියහ.