ටයිටැනික් නැවෙන් හමු වූ රන් ඔරලෝසුවක් වාර්තාගත මුදලකට අලෙවි වෙයි

වසර 1912දී ටයිටැනික් නෞකාව

මුහුදුබත් වීමෙන් පසු එහි ගමන්ගත් ධනවත් මගියකුගේ මළසිරුරකින් සොයාගෙන ඇතැයි කියන සාක්කු රන් ඔරලෝසුවක් එංගලන්තයේ වෙන්දේසියකදී බ්‍රිතාන්‍ය පවුම් මිලියන 1.17ක (අමෙරිකානු ඩොලර් මිලියන 1.46) වාර්තාගත මුදලකට අලෙවි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සාක්කුවේ රැගෙන යන ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති එම රන් ඔරලෝසුවේ ජේජේඒ අකුරු කොටා තිබූ බවත්, ඒ අනුව එම ඔරලෝසුව එවකට අමෙරිකාවේ සිටි ධනවත් ව්‍යාපාරික ජෝන් ජේකොබ් ඇස්ටර්ට අයිතිව තිබූ බවටත් වාර්තා වී තිබේ. ඒ බව තහවුරු කරගත් අමෙරිකානු ජාතිකයකු විසින්ම වෙන්දේසියේදී රන් ඔරලෝසුවට වැඩිම ලංසුව තබා එය සතු කරගත් බව වාර්තා වේ. එම ඔරලෝසුව පවුම් ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දහසක් දක්වා මිලකට මූලික ලංසුව සටහන් කර තිබූ බවත්, අමෙරිකානු ජාතිකයා එය අත්කරගෙන ඇත්තේ ඊට දසගුණයකට වඩා වැඩි ලංසුවකට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.