අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.