- ඉරානයේ ජනාධිපතිවරයා දෙවැනි වන්නේ එරට උත්තරීතර නායකයාට පමණි
- ඊබ්‍රහිම් රයිසි ජයග්‍රහණය කරනු ලැබුවේ ඡන්ද 18,021,945ක් අරන්
මේ වන විට ලෝකයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන රාජ්‍යයන් දෙකක් තිබේ. ඉන් එක් රාජ්‍යයක් වන්නේ ගාසා තීරයට දිගින් දිගටම පහර දුන් ඊශ්‍රායලයයි. අනෙක් රාජ්‍ය වන්නේ නිරන්තරයෙන් එම ප්‍රහාරයන්ට විරුද්ධව ඒ දෙස බලාගෙන සිටි ඉරානයයි. විශේෂත්වය වන්නේ මෙකී රාජ්‍යය දෙකම මැදපෙරදිග රාජ්‍යයන් වීමයි. ඊශ්‍රායලය කෙසේ වෙතත් ඉරානය සම්බන්ධයෙන් මුළු මහත් ලෝකයම පාහේ කතාකරන්නට පටන්ගත්තේ ඔවුන් විසින් ඊශ්‍රායලයට පහරදීමත් සමඟයි. මේ වන විට ඔවුන් අතර සිදුවන යුද කටයුතු කවරක් වුවද ඉරාන ජනරජයේ ප්‍රධානියා වන ඊබ්‍රහිම් රයිසි යනු කවුරුන්ද යනවග පිළිබඳව බොහෝදෙනා අවධානයෙන් සිටී. ඊබ්‍රහිම් රයිසි ඉරානයේ ජනාධිපතිවරයා ලෙසින් බලයට පත්වූයේ 2021 ජනාධිපතිවරණයෙන් පසු 2021 වසරේ අගෝස්තු මස 3 වැනිදාය. ඔහු බලයට පත්වූයේ වසර 8ක් ඉරානයේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කළ හසන් රවුහානිගෙන් පසුවය.
ඉරානය
2022 වසරේදී ලෝක බැංකුව විසින් සඳහන් කළ අයුරින් එහි ජනගහනය ලෙසින් දක්වා ඇත්තේ මිලියන 88.5කි. ලෝකයේ පැරණිතම රාජ්‍යයන්ගෙන් එකක් වන ඉරානය, Persian මෙන්ම Islamic Republic of Iran ලෙසින්ද හැඳින්වේ. වර්තමානයේ අගනුවර ටෙහෙරාන් වුවද රටේ පළමු නගරය ලෙසින් ඉදිකර ඇත්තේ ක්‍රිස්තුපූර්ව 3200දී පමණ Sousa ය. කොයිහැටි වෙතත් 1930 දශකයේදී පමණ එවක රටේ පාලකයා ලෙසින් කටයුතු කළ Reza Shah Pallavi මෙකී රාජ්‍යෙය් නම ඉරානය ලෙසින් භාවිතයට ගැනුණි.
ඉරානයේ ජනාධිපතිවරයා දෙවැනි වන්නේ එරට උත්තරීතර නායකයාට පමණි. එරට ප්‍රධානියා උත්තරීතර නායකයා වන විට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තම නිලකාලය වෙනුවෙන් දිවුරුම් දීමට ප්‍රථම උත්තරීතර නායකයාගේ අනුමැතිය ලබා ගත යුතුය. මේ අනුව ජනාධිපතිවරයා කවරෙකු වුවද ඔහුව සේවයෙන් පහකිරීමට පවා බලය උත්තරීතර නායකයා සතුය. ජනාධිපතිවරයා සිදුකරනු ලබන්නේ උත්තරීතර නායකයාගේ නියෝගයන් ක්‍රියාත්මක කිරීමය. එරට ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ වසර හතරකට වරක් වන අතර, වත්මන් ජනාධිපතිවරයා වන ඊබ්‍රහිම් රයිසි පත්වූයේ 2021 වසරේ පැවැති මැතිවරණයෙනි.
එවර මැතිවරණයේදී 28,750,736ක් ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලබා තිබුණු අතර, එයින් ප්‍රතික්ෂේපිත ඡන්ද අඩුකිරීමෙන් පසු ඡන්ද 24,909,817ක් ප්‍රකාශිත ඡන්ද ලෙස ගණන් ගැනුණි. එවර ඊබ්‍රහිම් රයිසි Combatant Clergy Association පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ඡන්ද 18,021,945ක් ලබාගත්තේ සියයට 72.35ක් ඡන්ද ප්‍රතිශතයක් ලෙස ලබාගනිමිනි. ඔහුට පසුව දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයාට හිමිව තිබුණේ ඡන්ද 3,440,835ක් පමණි. එතැන් පටන් ඔහු මේ දක්වා ජනපතිවරයා ලෙසින් කටයුතු කරනුයේ තම පළමු ජනපති කාල සමයත් සමඟිනි. ඉරානයේ ජනාධිපතිවරයා ලෙසින් කවර අයකුට හෝ ඉදිරිපත් විය හැක්කේ දෙවරක් පමණි.
ප්‍රාථමික අධ්‍යාපනය
රයිසි තම ප්‍රාථමික අධ්‍යාපන කටයුතු ජාවාඩියේ පාසලින් හැදෑරූ අතර ඉන්පසු ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ඉස්ලාමීය සෙමනේරිය හදාරන්නට පටන්ගන්නේ Hawaz පාසලෙනි. ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනය කටයුතු වෙනුවෙන් “Ayatollah Boroujerdi” පාසලට ඇතුළත් විණි. ඒ 1975 වසරේදීය. 1960 උපත ලැබූ රයිසි හැදී වැඩුනේ පූජක පවුලකය. තම යොවුන් වියේදී 1979 විප්ලවයට සහභාගි වී කටයුතු කරන්නට විය. මේ වන විට ෂියා ඉගැන්වීමේ මධ්‍යස්ථානය හා සහභාගි වී සිටි රයිසි, ටෙහෙරානයේ ‘Shahid Motahari’ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉස්ලාමීය නීති විද්‍යාව සහ නීතිය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගැනීමට සමත්විය. 80 දශකය ආරම්භයේදී නඩු පවරන්නෙකු ලෙසින් කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි 1985 වසරේදී ටෙහෙරානයේ නියෝජ්‍ය අභිචෝදක ජනරාල්වරයකු ලෙසින් පත්වීම් ලැබීය. කොයිහැටි වෙතත් ඔහු 1988 ජූලි මාසයේදී නියෝග කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේට විරුද්ධව යුද්ධයක් කරනා සියලුම සිරකරුවන් මරණ දඬුවමට ලක් කරන බවයි.
1994 සිට 2004 දක්වා දූෂණ හා මූල්‍ය වැරදි සෙවීම සම්බන්ධයෙන් සංවිධානයේ ප්‍රධානියා වූ රයිසි 2004 – 2014 දක්වා කාලයේ අධිකරණයේ පළමු නියෝජ්‍ය ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නට විය. 2006 වසරේදී උත්තරීතර නායකයා පත්කිරීම සහ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන විශේෂඥයින්ගේ සභාවට තේරී පත්විය. 2014 සිට 2016 දක්වා ඉරාන තානාපතිවරයා වූයේ රයිසිය. 2016 වර්ෂය ඔහුට වැදගත් වසරක් වූයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා කුමේනි විසින් Astan Qnds Raza නමින් ආරම්භ කළ පුණ්‍යායතනයේ භාරකරු වශයෙන් ඔහුව පත්කිරීමය.
වසර තුනක් එම ධුරයේ කටයුතු කළ ඔහු පළමු වරට 2017දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් දෙවන ස්ථානයට පත්වූයේ සියයට 38ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමිනි. 2019දී අයතුල්ලා කුමේනි විසින් ඔහුව ඉරානයේ අගවිනිසුරුවරයා ලෙසින් නම් කළේය
ඊශ්‍රායලය සමඟ ගැටුම
රයිසිගේ බිරිය වන්නේ Jamileh Alamolhoda යි. ඇය ටෙහෙරානයේ ෂාහිඩ් බෙහෙෂ්ටි විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක් වන අතර එහි විද්‍යා හා තාක්ෂණ මූලික අධ්‍යයන ආයතනයේ සභාපතිනිය ද වේ. ඔවුන්ට දියණියන් දෙදෙනකු සහ මුණුබුරන් දෙදෙනකු සිටිති.
මේ වන විට කාගෙ කාගෙත් අවධානය යොමු වන්නට හේතු කාරණා වූයේ ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ලවීමයි. මැදපෙරදිග රටවල් පමණක් නොවේ ලෝකයේ සියලුම රටවල් පාහේ බලාපොරොත්තු වූයේ දෙරට අතර යුද ගැටුම් නොසිතූ විලසින් ඇවිළීයාමට ඇති ඉඩකඩ වැඩි බවය. මේ අතරවාරයේ ඉරාන ජනපතිවරයා පාකිස්තානය මෙන්ම ශ්‍රී ලංකාවේද සංචාරය කළ අතර, අමෙරිකා එක්සත් ජනපදය මේ සම්බන්ධයෙන් නොසතුට පළ කර තිබිණි. ඉන් නොනැවතුණු ඔවුන් පාකිස්තානයට ආර්ථික සම්බාධක පැනවීම කෙරෙහිද අවධානය යොමුකරන්නට විය.
සම්බාධක
කෙසේ වෙතත් අමෙරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් ඊබ්‍රහිම් රයිසිට සම්බාධක පනවා තිබෙන අතර, 1988 වසරේ දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නඩු පවරන කමිටුවේ සිටි සිව්දෙනාගෙන් එක් අයකුද වේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් විසින් ද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර තිබේ. කොයිහැටි වෙතත් ඉරානය හා ඉරාන ජනාධිපතිවරයා මෙන්ම මැදපෙරදිග කලාපය පිළිබඳව ද තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් තොරතුරු විදෙස් මාධ්‍යය මඟින් ඉදිරියේ කතා කරනු ඇත.