- සුදුසුකම් ලත් රියැදුරන් ඌරු කොටුවකට දැම්මා
- පිටුවහල් කර එවුණු දෙදෙනෙක් හෙළි කරති
ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්රී ලාංකිකයන් 106 දෙනකු එම රැකියා, ආහාරපාන සහ නවාතැන් පහසුකම් නැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්රී ලාංකියෝ දෙදෙනෙක් (26) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී පැවසූහ. ඔවුන් දෙදෙනා ඇතුළු ශ්රී ලාංකික 108 දෙනකු රජයේ මැදිහත් වීමෙන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී, රුපියල් ලක්ෂ 12 ක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට දී ලිතුවේනියාව බලා බර වාහන රියැදුරුන් ලෙස සේවය කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ. මෙසේ ලිතුවේනියාවේ සිට මෙරටට පැමිණි ගාල්ල උණවටුන ප්රදේශයේ පදිංචි එන්.ඩබ්. ප්රියන්ත කටුනායක ගුවන් තොටුපොළේදී මෙසේ පැවසීය:
“මම කොළඹ වරායේ බර වාහන රියැදුරකු ලෙස සේවය කරමින් සිටි අතර, මටම අයත් බර වාහන දෙකක්ද වරායේ සේවයට යොදවා තිබුණා. ඒත් ශ්රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය යටතේ ඒ වාහන විකුණා, රත්රන් බඩු උගස් කර, රජයේ මැදිහත් වීමෙන් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට රුපියල් ලක්ෂ 12ක් ගෙවා ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට යෑමට සූදානම් වුණා. මේ මුදලට අමතරව ගුවන් ටිකට් පත් ඇතුළු තවත් බොහෝ දේවල් අප මිල දී ගත්තා.
“අප ලිතුවේනියාව බලා පිටත්ව යන උත්සව අවස්ථාවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධනද පැමිණ සහභාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලාපොරොත්තුවක් රඳවා ගෙන තිබුණා. එහෙත් අප ලිතුවේනියාවට ගියාට පසුව, එරට මාන්වෙස්ටා සමාගම අප ශ්රී ලංකාවෙන් ගිය පිරිස අතුරින් දෙදෙනකුට පමණක් බර වාහන රියැදුරු තනතුරු දී, අනෙක් පිරිස ඌරු කොටුවල රැකියා සදහා යොමු කළා. අප සියලු දෙනා බර වාහන පැදවීම පිළිබඳ සුදුසුකම් ලත් රියැදුරන්. ඒ නිසා අපි ඌරු කොටුවේ රැකියාවට කැමැති වුණේ නැහැ. ඒ නිසා ලිතුවේනියා රජය වසර දෙකකට අපට දී තිබූ නේවාසික වීසා බලපත්ර අහෝසි කළා. ඊට පස්සෙ අප දවසකට යූරෝ 10ක් වැය කර නවාතැන් පහසුකම් සලසාගත්තා; ඊට අමතරව ආහාරපාන වෙනම මිල දී ගත්තා. අප මේ පිළිබඳ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් දැනුවත් කිරීමෙන් පසුව මෙසේ අප ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඒ අනුව මමත් සමග ලිතුවේනියාව බලා පිටත්ව ගිය දෙදරු පියෙකු වන අතුරුගිරියේ කාලිංග බුලත්සිංහල ද පැමිණ සිටිනවා , ගාල්ල උනවටුන ප්රියන්ත පැවසීය. අපිට මේ වෙනකොට රුපියල් ලක්ෂ 35 විතර මේ ගමනට වියදම් වෙලා තියෙනවා. මේ මුදල් ලංකාවෙ අපේ ගෙවල් දොරවල් උගස් තියල සොයාගත්තෙ, අප ශ්රී ලංකාවට ගෙන්වාගන්න ඕනැ නිසා.”
මොවුන් (26) දින අලුයම 5.20ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් භාර ගැනීම සදහා ශ්රී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය සරත් ජයන්ත පීරිස් ඇතුළු එම සංවිධානයේ නිලධාරීහු දෙදෙනෙක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.