ශ්‍රී ලංකා – ඉරාන ජනපතිවරු හමු වෙති

  • ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ඉරාන ජනාධිපතිවරයාගේ දැඩි විශ්වාසය.
  • ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ දී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඉරාන රජය දුන් සහායට ශ්‍රී ලංකා ජනපතිගේ කෘතවේදීත්වය.
  • දෙරට අතර අවබෝධතා ගිවිසුම් 05කටද අත්සන් තැබේ.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නිල හමුව (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉතා මිත්‍රශීලි ලෙස පිළිගනු ලැබීය.

ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් සහිත ත්‍රිවිධ හමුදා වර්ණ ධජ ගණයන්ගෙන් සමන්විත සම්මාන මුරයක් ද පිළිගන්වනු ලැබිණි.

නායකයන් විසින් දෙරටේ දූත පිරිස හඳුන්වා දීමෙන් අනතුරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

සිය සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති රයිසි ජනාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
නායකයන් අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1962 වසරේදී ආරම්භ කෙරුණු අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට පෙර සිටම දෙරට අතර සබඳතා පවත්වා ඇත. අතීත පර්සියානු යුගයේ දී දෙරට අතර සබඳතා ප්‍රධාන වශයෙන් පැවැත්වූයේ හෝමූස් සමුද්‍ර සන්ධිය මඟිනි. ඉරානය 1975 දී කොළඹ දී සිය තානාපති කාර්යාලය ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාව 1990 ජනවාරි මාසයේදී ටෙහෙරාන් නුවර සිය තානාපති කාර්යාලය පිහිටුවන ලදී. දෙරට ම සෑම ක්ෂේත්‍රයකම සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන යන අතර බහුපාර්ශ්වික සංසඳවලදී එකිනෙකා කෙරෙහි සහයෝගයෙන් කටයුතු කරයි.

දෙරට අතර අතීතයේ සිට පවතින මෙම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන් සාකච්ඡා කළහ.

එසේම පසුගිය කාලසීමාව තුළ මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් සහයෝගය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ මෑතකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉරාන ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය සහ සෞභාග්‍යය පිළිබඳව ජනාධිපති රයිසි මෙහිදී සිය දැඩි විශ්වාසය පළ කර සිටියේය.

එමෙන්ම දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීම, දේශපාලන, සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව ද නායකයන් දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙම සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර අවබෝධතා ගිවිසුම් 05කට අත්සන් තැබීම ද දෙරටේ නායකයන් ඉදිරියේ සිදු විය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය හා ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ ජාතික චිත්‍රපට සංස්ථාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික හා ඉස්ලාමීය මාර්ගෝපදේශන අමාත්‍යාංශය අතර සිනමා කර්මාන්තයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූණු අතර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ඉරාන ඉස්ලාම් ජනරජය වෙනුවෙන් ඉරානයේ බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මෙරහබීන් ( Ali Akbar Mehra Biyan) ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකාව සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික සහයෝගිතා, ජනමාධ්‍ය, තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අත්සන් තැබූ අතර ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) අත්සන් තැබීය.

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ සභාපති ජී.වී. සරත් වීරසිරි සහ ඉරාන ඉස්ලාම් ජනජය වෙනුවෙන් එරට සංස්කෘතික කටයුතු අමාත්‍ය මොහොමඩ් මෙහ්දි ඉස්මයිල් (Mohammad Mehdi Esmaeili) ඊට අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අමාත්‍යවරුන් පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නලින් ප්‍රනාන්දු ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News