රුසියාවෙන් ඉන්දියාවට පර්යේෂණ මධ්‍යස්ථානයක්

රුසියාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දියාවේ විශ්වවිද්‍යාල හවුල්කාරීත්වයෙන් නවදිල්ලි නුවර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් රුසියාවේ මොස්කව් නුවර පිහිටි ජාතික පර්යේෂණ විශ්වවිද්‍යාලයක් වන ආර්ථික විද්‍යා උසස් විද්‍යාලය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර විශ්වවිද්‍යාලය අතර උපායමාර්ගික සහයෝගීතා සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග පිළිබඳ ගිවිසුමක්ද පසුගියදා අත්සන් කර ඇති අතර, එය දෙරට අතර ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එම ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුගියදා නවදිල්ලි නුවර පැවැති ඉන්දු- රුසියානු අධ්‍යාපන සමුළුවේදී බවත්, මේ සමුළුවට රුසියාවේ මොස්කව්, ශාන්ත පීටර්ස්බර්ග්, සයිබීරියාව, ක්‍රිමියාව ඇතුළු නගර ගණනාවක විශ්වවිද්‍යාල 60ක පමණ නියෝජිතයන් සහභාගි වී ඇතැයි ද වාර්තා වේ. අධ්‍යාපනය, නවෝත්පාදන තාක්ෂණය, දැනුම හුවමාරු කරගැනීම, විද්‍යාව සහ වෘත්තීය පුහුණුව ඉලක්ක කරමින් එම පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත බව නවදිල්ලි නුවර රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.