Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට පියවර

මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස හඳුන්වාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භක අවස්ථාව පසුගිය 19 වැනිදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කටුවනදී ආරම්භ කෙරිණි.

වලස්මුල්ල සහ ඔකේවෙල ප්‍රදේශවල පවුල් 300ක ගෘහිණියන් තෝරාගෙන ඔවුන්ට තේ පැළ සහ වගාව සඳහා අවශ්‍ය උපකරණ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් එහිදී දෙන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“අපේ රටේ තේ කර්මාන්තයේ අනාගතය ආරක්ෂාව වීමට නම් අපි නව අගය එකතු කළ තේ නිෂ්පාදන සඳහා යොමු විය යුතුයි. ශ්‍රී ලංකා තේවලට ඇති කීර්ති නාමය ආරක්ෂා වන පරිදි තේ නිෂ්පාදනය කිරීම සෑම තේ කර්මාන්තකරුවකුගේම වගකීම විය යුතුයි.

අපේ තේ අපනයනය කිරීමේදී හැකි තරම් ප්‍රතික්ෂේපිත තේ අඩංගු කිරීම වළක්වා ගත යුතුයි. මේ නිසා අපි මේ වසරේ ජනවාරි මස 01 වැනි දින සිට B-60 ප්‍රතිපත්තිය අනිවාර්ය කර තිබෙනවා. තේ දලුවලින් හොඳම ප්‍රමාණය සියයට 60 සිට 80 දක්වා ගෙන ඒම අපේ ඉලක්කයයි. ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ යන විශ්වාසය තවමත් ලෝක ප්‍රජාව තුළ තිබෙනවා. මේ කීර්ති නාමය අපි අඛණ්ඩව ආරක්ෂා කර ගත යුතුයි.

බෙදා හරින මේ 20/43 තේ ප්‍රභේදය සිල්වර් ටිප්ස් තේ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනක්. සිල්වර් ටිප්ස් තේ යනු ලෝකයේ ඉහළම මිලක් ඇති තේ විශේෂයක්. දකුණු පළාතේ කටුවන, වලස්මුල්ල සහ ඔකේවෙල ප්‍රදේශවල කාන්තාවන් 300 බැගින් තෝරාගෙන ඔවුන්ට මේ වගාව සඳහා අවශ්‍ය තේ පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය ජල පොම්ප ඇතුළු සියලු පහසුකම් අපි දෙනවා.

මෙමඟින් වසරකට පසු මේ ගෘහිණියන්ගේ මාසික ආදායම රුපියල් 150,000ක් බැගින් ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. ඒ වගේම සිල්වර් ටිප්ස් තේ කර්මාන්තය Home Made නැත්නම් ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස පළමු වරට හඳුන්වා දීම අද ආරම්භ කළා. මේ සඳහා කටයුතු කළ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට මගේ ස්තුතිය පිරිනමනවා.”

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී. ජී. මහීපාල ද මේ අවස්ථාවට සහභාගි විය.