ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනාගේ බඩේ කෝටි 8ක කොකේන්

රුපියල් කෝටි 08 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් උපත් පාලන කොපුවල බහා ගුළි වශයෙන් සකස් කර ඒවා ගිල උදරයේ සඟවාගෙන මෙරටට පැමිණි අප්‍රිකාණු රටක් වන ගිනි රාජ්‍යයේ කාන්තාවන් දෙදෙනකු (20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා 40 සහ 42 හැවිරිදි වියේ පසුවන්නන් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

මෙම ගිනි ජාතික කාන්තාවන් දෙදෙනා මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය උපත් පාලන කොපු තුළ බහා ගිල ඇත්තේ, තවදුරටත් ඒවා උදරයේ දී කාන්දු වීමක් සිදු වුවහොත් එය වැළැක්වීම සඳහා සෙලෝ ටේප් යොදා බව එම ගුළි පිටතට ගැනීමෙන් පසු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

එක් ගුළියක් ග්‍රෑම් 15ක් පමණ බරැති බවත් එවැනි ගුළි 75ක් පමණ එක් අයෙකුගේ උදරයේ තිබෙන බවත්, කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිලෝකන යන්ත්‍රය (Scan ) පරීක්ෂාවේ දී පෙනී ගොස් තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මුලින්ම සියරාලියෝන්වලින් ගමන් ආරම්භ කර තුර්කියේ ඉස්තාන්බුල් නුවර වෙත පැමිණ තිබේ. ඉන්පසුව එතැන් සිට පෙරේදා දින උදෑසන 06.00ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම 2024 වසර තුළ කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගත් තුන් වන අවස්ථාව මෙය බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවැසීය.

මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් ගිල දමා පැමිණි රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ග්‍රෑම් 500පමණ බරැති කොකේන් මත්ද්‍රව්‍ය ගුළි 40ක් පමණ පිටතට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබිණි.

මෙසේ අත්අඩංගුවට ගත් ගිනි ජාතික කාන්තාවන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇත.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර මෙම කාන්තාවන් දෙදෙනා ගිල දමා පැමිණි ඉතිරි කොකේන් මත්ද්‍රව්‍ය ගුළි තොගය පිටතට ගැනීම සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. විරේක ලබාදෙමින් උදරයේ ඇති ගුළි පිටතට ගැනීමේ කටයුතු ඊයේ වන විට ආරම්භකර තිබිණි.