ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන්හි ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් එරට සංචාරය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම් ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් එළඹෙන 22 දා නවසිලන්තයේ වෙලිංටන්හි සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයෙන් පසුව මේ නියෝජිත කණ්ඩායම ඒ සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නවසීලන්තයේ සංචාරය කරන බවද ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීම සඳහා එහිදී නවසීලන්ත රජයේ පාර්ශ්වය සමඟ සාකච්ඡා කරන බවද එම අමාත්‍යාංශය කියයි.
මේ සංචාරයේදී දූත පිරිස නවසීලන්තයේ විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් අදාළ ආයතන සහ පාර්ශවකරුවන් සමඟ රැස්වීම්වල නිරත වීමටද නියමිතයි.
නවසීලන්තයේ සැලකිය යුතු ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවක් සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක් වෘත්තිකයෝ සහ සිසුහුය. නේවාසික දූත මණ්ඩලයක් විවෘත කිරීම ප්‍රජාව වෙත ළඟා වීමට සහ වෙළෙඳ, අධ්‍යාපනය, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවල ශක්තිමත් සහයෝගීතාවයක් ඇති කරගැනීමට පහසුකම් සලසයි.
නවසීලන්තය 2021 වසරේදී ශ්‍රී ලංකාවේ නේවාසික දූත මණ්ඩලයක් විවෘත කරන ලද අතර, එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.