වරදකාර සුමනසේකර 24 දා දක්වා රිමාන්ඩ්
තම බිරිය සමඟ ඇති කරගෙන තිබූ අනියම් ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවය නිරතව සිටි ඉංජිනේරුවකු වන ආචාර්ය වඩුආරච්චිගේ අමරසිරි නමැති අයකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මඟින් මරණ දඬුවම නියමව බන්ධනාගාරගත නොවී වසර 34ක් සැඟව සිටි ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය (19) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති පුද්ගලයෙකි. සැකකරු මියගිය පුද්ගලයකුගේ උප්පැන්න සහතිකය උපයෝගි කරගෙන ජාතික හැඳුනුම්පතක් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැයිද තහවුරු වූ බව පොලිස් නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබූ මේ ප්‍රධාන සැකකරුගේ බිරියද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින් ඉකුත් පෙබරවාරියේ බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කළ සැකකාරියක ලෙස බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ නියෝග කළේය.
මේ සැකකරු එකල අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම මාර්ගයේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට මරණකරු ගෙන්වාගෙන බිරිය සමඟ එක් වී ඝාතනය සිදු කර තිබිණි. අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොවීම හේතුවෙන් විත්තිකරුවන් නැතිව මහාධිකරණ මඟින් නඩුව විභාගයට ගෙන, 2019 වර්ෂයේදී සැකකරුවන් දෙදෙනාටම මරණ දඬුවම නියම කර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුට ව්‍යාජ ජාතික හැඳුනුම්පත සැකසීමට සහය දුන් පුද්ගලයන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.