ජනප්‍රිය පොප් ගායිකාවක් අබිරහස් ලෙස මරුට

ජනප්‍රිය කොරියානු පොප් ගායිකා පාර්ක් බෝරම් (Park Bo Ram) අබිරහස් ලෙස මිය ගොස් තිබේ.

30 හැවිරිදි පාර්ක් බෝරම් මිය යාමට පැය කිහිපයකට පෙර පසුගිය බ්‍රහස්පතින්දා(11) සවස සිය මිතුරන් දෙදෙනෙකු සමග පෞද්ගලික සාදයකට සහභාගි වී ඇති අතර ඇය එහිදී මත්පැන් පානය කර තිබූ බව දකුණු කොරියානු ප්‍රවෘත්ති ආයතන වාර්තා කර ඇත.

පසුව ඇය එම නිවසේ නාන කාමරයට ගොස් ඇති අතර, දිගු වෙලාවක් යන තුරු නැවත නොපැමිණීම හේතුවෙන් මිතුරියන් ඇය ගැන සෝදිසි කර ඇත.

එහිදී පාර්ක් බෝරම් සිහිසුන්ව ඇද වැටී සිටින අයුරු මිතුරියන් දැක තිබේ.

කෙසේ වෙතත් ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් තවමත් හෙළි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පාර්ක් හෘදයාබාධයකට ලක්ව මෙම මරණය සිදුව ඇති බවයි.

2010 වසරේ දී දකුණු කොරියාවේ පැවත්වූ සුපර් ස්ටාර් K2 තරගයට සහභාගි වූ පාර්ක් බෝරම් සිය දක්ෂතාවයන්ගෙන් ප්‍රේක්ෂකයින් විශ්මයට පත් කළාය. පසුව ඇය 2014 වසරේ දී “Beautiful” නම් ගීතය එළිදක්වමින් පොප් සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වුණි.

එතැන් සිට පැමිණි සංගීත ජීවිතය තුළ බෝරම් සම්මාන කිහිපක් දිනා ගැනීමට සමත්වූවා පමණක් නොව, ඇය නව ගීතයක් ද එළිදැක්වීමට සුදානමින් සිටියාය.

ඒ ඇගේ සංගීත ජීවිතයේ 10 වන සංවත්සරය වෙනුවෙන් වීම ද විශේෂත්වයකි.