මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය මේ වසරේ මාර්තු මාසයේ 9.5%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 5 සීමාව දක්වා පැමිණ තිබෙන බව ශ්රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තා මඟින් පෙන්වා දෙයි.
ඒ අනුව 2024 පෙබරවාරිය අවසානයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 4.52ක් ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්රමාණය 2024 මාර්තු අවසානය වන විට ඩොලර් බිලියන 4.95 දක්වා ඉහළ ගොස් ඇති බව එම බැංකුව සඳහන් කරයි.
මේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6%කින් මාර්තු මාසය තුළ ඉහළ ගොස් තිබෙන අතර, එහිදී 2024 පෙබරවාරිය අවසානයේ මහ බැංකුව සතුව පැවති ඩොලර් බිලියන 4.48ක් වූ විදේශ විනිමය සංචිතය 2024 මාර්තු අවසන් වන විට ඩොලර් බිලියන 4.91ක් දක්වා වැඩි වී ඇත.
මේ අතර 2024 මාර්තු මාසය තුළ මහ බැංකුව සතු රන් සංචිතයද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 දක්වා 9.1%කින් ඉහළ ගොස් තිබේ.
මේ සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේදී කොන්දේසිවලට යටත් වන බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.