ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික T20 තරගාවලි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවති T20 තරගාවලිය තරග 2 ට එකක් ලෙස ඓතිහාසික තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ දෙරට අතර පැවති තෙවන හා අවසන් තරගය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4 කින් ජය ගැනීමත් සමඟයි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර එහිදී නායිකා චමරි අතපත්තු ලකුණු 73 ක් හා හර්ෂිතා සමරවික්‍රම ලකුණු 53 ක් ලබා ගත්තා.

ඒ අනුව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩයම තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනවා.