මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනියි – මිය ගිය ගණන තවත් ඉහළට

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුන් සිව්දෙනා ඇතුළුව සැකකරුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි

ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 93 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වන අතර තුවාලකරුවන් ගණන 100 ඉක්මවා තිබේ.

මේ අතර, රුසියානු රජය පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගිය අයෙකුගේ ඥාතීන්ට එරට මුදලින් රුබල් මිලියන 3ක් සහ තුවාල ලැබූ පිරිස සඳහා එක් අයෙක් වෙනුවෙන් රුබල් මිලියනයක් ලබාදීමට කටයුතු කරන බවය.

විදෙස් වාර්තා සඳහන් කළේ හමුදා සාමාජිකයින් ට සමාන ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව්දෙනෙකු ප්‍රසංගයක් පැවති අදාළ ගොඩනැගිල්ලට කඩා වැදී වෙඩි තබා, අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

වෙඩි තැබීම සිදුකර තිබුණේ රොක් සංගීත කණ්ඩායමක් පවත්වන සංගීත සංදර්ශනයක් ආරම්භ වීමට මොහොතක් තිබියදීය.

සංගීත කණ්ඩායම වේදිකාවට පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර ප්‍රහාරය සිදුවූ අතර සංගීත කණ්ඩායමේ සාමාජිකයින්ට ඉන් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

ආසන 6,200කින් සමන්විත රංග ශාලාව ඒ මොහොත වන විට ජනතාවගෙන් පිරී පැවති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ප්‍රහාරයත් සමඟ ප්‍රසංගය පැවති ශාලාව තුළ ගින්නක් ද හටගෙන තිබේ. විනාඩි 15ක් හෝ 20ක කාලයක් ප්‍රහාරය සිදුකර ඇති බවද සඳහන් ය.

05දෙනෙකුගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව සඳහන්වේ.