මෙම වසරේදී සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්

  • මේ වසරේ ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින් සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළට – ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට මාර්තු මස 19 වැනිදා දක්වා කාලය තුළ ගුවන්තොටුපළ සේවා ලබාගත් ගුවන් මගීන් සංඛ්‍යාව 850,000කි.

එසේම මේ වසර අවසානය වන විට ගුවන් මගීන් මිලියන 10ක පමණ පිරිසක් ගුවන්තොටුපළ භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය.

2022 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිතා කළ සමස්ත මගින් ප්‍රමාණය මිලියන 05ක් වන බවත්, 2023 වසරේදී එම ප්‍රමාණය මිලියන 08 දක්වා වැඩි කර ගැනීමට හැකි වූ බවත් ගල්කැටිය මහතා පෙන්වා දෙයි.