ලොව වායු දූෂණය වැඩිම රට බංග්ලාදේශයයි

වායුගෝලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කරනු ලබන ලොව ප්‍රමුඛතම IQAir ආයතනය විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවකට අනුව 2023 වසරේ ලොව වැඩිම වායු දූෂණයට ලක්වූ රට ලෙස බංග්ලාදේශය නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශයේ වාර්ෂිකව වායු දූෂක මට්ටම 79.9ක් බවත්, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක මට්ටමට වඩා 15 ගුණයකින් ඉහළ යෑමක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. වායු දූෂක මට්ටම 73.7ක වාර්ෂික අගයක් පෙන්නුම් කර ඇති පාකිස්තානය එම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇතැයි ද, ඉන්දියාව 54.4ක අගයක් සටහන් කරමින් තුන්වැනි ස්ථානයට පත්ව ඇතැයි ද වාර්තා වේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 49 වැනි ස්ථානයේ පසුවන බව ද වාර්තා වේ.

රටවල් 134ක ස්ථාන 7,812ක ස්ථාන ගත කළ වායු ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථාන 30,000කින් ලබාගත් සංඛ්‍යාලේඛන අනුව එම වාර්තාව සකස් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ වාර්තාවට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුකූලව අඩුම වායු දූෂණයකට හිමිකම් කියන රටවල් ලෙස ඔස්ට්‍රේලියාව, ෆින්ලන්තය, අයිස්ලන්තය සහ නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයක් නම් කර ඇතැයි ද වාර්තා වේ.