සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පසුගියදා පැහැරගනු ලැබූ බංග්ලාදේශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාව මුදා ගැනීමට ජාත්‍යන්තර නාවික හමුදා සහාය ලබා ගන්නා බව සෝමාලියාවේ පොලිසිය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මොසැම්බික් රාජ්‍යයේ මපුටෝ අගනුවර වරායේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යාත්‍රා කරමින් තිබූ ‘එම්වී අබ්දුල්ලා‘ නමැති එම නෞකාව සමඟ එහි 23 දෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය ද ප්‍රාණ ඇපයට ගෙන ඇත.

සෝමාලියාවේ ස්වයංපාලන කලාපයක් වන පන්ට්ලන්ඩ් ප්‍රාන්තය බොහෝ මුහුදු කොල්ලකරුවන්ගේ කේන්ද්‍රස්ථානය බව ද සඳහන් කර ඇති සෝමාලියානු පොලිසිය අබ්දුල්ලා නෞකාව මුදා ගැනීම සඳහා සැලසුම් කරමින් සිටින බව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එසේ වුවත් අබ්දුල්ලා නෞකාව මුදා ගැනීමට හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව එම නෞකාවේ බංග්ලාදේශ හිමිකරුවන් විරෝධතාව පළ කර ඇති අතර, ඉන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ජීවිත අවදානමකට ලක්වනු ඇතැයි ප්‍රකාශ කර තිබේ.

එබැවින් එවැනි ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් නොවන ලෙස බංග්ලාදේශ රජය දැනටමත් ජාත්‍යන්තර නාවික හමුදාවලින් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා කළේය.