වියළි කාලගුණයත් සමඟ ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ

පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග මේ වනවිට ජල මූලාශ්‍ර 18ක් අවදානම් තත්ත්වයේ පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ජල පරිභෝජනය සිදු නොකරන ලෙසයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී අනෝජා කළුආරච්චි සඳහන් කළේ.

මුර ක්‍රමය යටතේ ජල සම්පාදන ක්‍රම 16ක ජලය සැපයීම සිදුකරන බවත් ඒ අනුව බේරුවල, අලුත්ගම, නිවිතිගල, නාරම්මල, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, අංකුඹුර, මීවතුර, පුස්සැල්ල, රත්තොට, හැටන්, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර යන ප්‍රදේශ සඳහා මේ අයුරින් මුර ක්‍රමයට ජලය සපයන බවයි ඇය ප්‍රකාශ කළේ.

එසේම වාද්දුව, ඇහැළියගොඩ සහ රදම්පළ ප්‍රදේශ සඳහා මේ වනවිට අඩු පීඩන තත්ත්වයෙන් ජල සැපයීම සිදුවන බැවින් එම ප්‍රදේශ සඳහා බවුසර මගින් ජලය සැපයීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.