අම්බලන්ගොඩ හා පිටිගල වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 4 ක් මරුට

අම්බලන්ගොඩ හා පිටිගල යන ප්‍රදේශවල (12) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අම්බලන්ගොඩ, ගලගොඩ, වෙලපාරේ පිහිටි වෙළෙඳසැලක් අසලදී ඊයේ රාත්‍රී 8.35ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබූ අතර යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු T 56 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර පිටිගල, ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිටදී ද ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.